Friday, April 26, 2024

General line - 0115112241

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි




කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් අද (11) ඉල්ලීමක් කරනු ලැබුවා.

චෝදනා 667 ක් යටතේ විත්තිකරුවන් 14 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර නීතීපතිවරයා ඒ බව කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මේ වන විට නීතීපතිවරයාගේ එම ලිපිය මහාධිකරණයේ ප්‍රදර්ශනය කරන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර ප්‍රකාශ කර සිටියා.

විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතල තත්ත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතූවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය හේතූවෙන් මෙවැනි සංකීර්ණ, විද්‍යාත්මක, තාක්‍ෂණික නඩුවක ඇති කරුණු මෙන්ම එම කරුණුවල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව නීතීපති දප්පුල ද ලිවේරා අගවිනිසුරු ජයන්ත ජයසුරියට පෙන්වා දී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නැමැත්තන් 11 දෙනෙකු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව ඔවුන් පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, මෙම තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු ගොනු කර  තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අමතරව හිටපු නාවික හමුදා ,මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක, නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා නඟා ඇතැයි වාර්තා වෙනවා.