Friday, April 26, 2024

General line - 0115112241

සහන පැකේජයෙන් ඇති විය හැකි තත්ත්වයන් ආර්ථික විශ්ලේෂකයින් පැහැදිළි කරයි




කැබිනට් මණ්ඩලය ඊයේ (27) අනුමත කළ සහන පැකේජය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල පහළ යාමට ද වෙළදපොල ගණුදෙනු වේගවත්වීමට ද බොහෝ දුරට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ විශේෂයෙන්ම ඍජු බදු සඳහා ලබාදී ඇති සහන හේතුවෙන් ආයෝජන සහ ඉතුරුම්ද දිරිගැන්වෙනු ඇති බවයි. 

භාණ්ඩ හා සේවා මිලෙහි ඇති විය හැකි පහළ යාම පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය ඊයේ අනුමත කළ සහන පැකේජය හේතුවෙන් රජයේ ආදායම් ඇස්තමේන්තු සපුරා ගැනීම පිළිබඳ අභියෝගයක් නිර්මාණ වන බවද ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පෙන්වා දෙනවා. ඒ අනුව බදු සහන ලබාදුන්නා සේම අහිමි වන ආදායම පියවා ගන්නා විකල්ප ආකාර පිළිබඳවද ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

අයවැය තුළනය කිරීම සඳහා අනවශ්‍ය වියදම් සීමා කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මෙහිදී විස්තර කෙරුණා.

මේ අතර කැබිනට් අනුමැතිය ලද සහන පැකේජය පිළිබඳ අනාවරණ කරමින් ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අනවශ්‍ය වියදම් සීමා කිරීමට ආණ්ඩුව දැනටමත් කටයුතු කරමින් සිටින බවයි. බදු නොවන ආදායම් වැඩි කර ගැනීමද අයවැය තුළනය සඳහා ගනු ලබන තවත් විකල්ප පියවරක් බව අමාත්‍යවරයා විස්තර කළා.  

බදු සහන ලබාදීමෙන් ආර්ථික කටයුතු වේගවත්වීම නිසා බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව වැඩිවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එවිට එක් එක් පුද්ගලයා විසින් ගෙවනු ලබන බදු ප‍්‍රමාණය අඩු වුවත් වැඩි පිරිසක් බදු ගෙවීම නිසා රජයේ ආදායම අඩු නොවී පවත්වා ගැනීමට හැකි වනු ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙන්නේ.