Friday, April 26, 2024

General line - 0115112241

විපක්ෂනායක වුවත් සජිත්ට ව්‍යවස්ථාදායක සභාවේ දොර වැසේ




හෙට (12) රැස්වන ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගිවීමේ අවස්ථාව විපක්‍ෂ නායක ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිල වශයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නොතිබීම හේතුවෙන්.

කථානායකවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත්වනවා.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා දිවුරුම්දී ඇති බැවින් ඔහුට හෙට රැස් වන ව්‍යවස්ථාදායක සභාවට සහභාගි විය හැකි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවට හෙට රැස්වීමට සිදුවන්නේ විපක්‍ෂ නායකවරයා නොමැතිවයි. ඒ හැර මීට පෙර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සියළු දෙනාට හෙට රැස්වීමට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ. 

ඒ අනුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ නම් කෙරුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ නියෝජිතයා ලෙස පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරළයි. මීට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයින් 03 දෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරනවා.

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයින් කිසිවෙකුත් ඉවත් කිරීමට බලයක් නොමැති අතර ඔවුන් ඉල්ලා අස්වීම සම්ප‍්‍රදායයි.

එහෙත් මේ දක්වා එහි කිසිවෙකුත් ඉල්ලා අස්වී නැහැ. ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කරනු ලබන සමාජිකයන් ඉන් ඉවත් කිරීම සඳහා පටිපාටියක්, ව්‍යවස්ථාදායක සභාව හඳුන්වා දුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ දක්වා නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ. නව ජනාධිපතිවරයෙකු පත්ව නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහිත කැබිනට් මණ්ඩලයක්ද පත් කරනු ලැබ සිටියත් ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය මෙතෙක් වෙනස් වී නැහැ.

ඒ අනුව නව ආණ්ඩුවක් බිහිවුවද, ව්‍යවස්ථාදායක සභාවේ හිටපු නියෝජිතයින්ගෙන් සමන්විතව එහි මීළග රැස්වීම හෙට පැවැත්වෙනු ඇති.