Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම අද සිට




වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී අද (17) ආරම්භ වනවා. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් එරට පැවැත්වෙන්නේ වසර 22කට පසුවයි. කාණ්ඩ 04ක් යටතේ ඊට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 16ක්. මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග වදිනවා.

එම කාණ්ඩයට ඉන්දියාව, නවසීලන්තය සහ ජපානයද ඇතුළත්. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවය දිනා ඇත්තේ ඉන්දියාවයි. ඔවුන් 2000, 2008, 2012 සහ අවසන් වරට 2018 වසරේ පැවති යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා. ඕස්ට්‍රේලියාව අවස්ථා 03කදීද, පකිස්තානය අවස්ථා 02කදීද යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා. දකුනු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය එක් අවස්ථාව බැගින් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමට සමත්කම් දක්වා නැහැ. ඔවුන් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දක්වා ඇති ඉහලම දක්ෂතාව වන්නේ 2000 වර්ෂයේදී අනුශූරතාවය දිනා ගැනීමයි. ඉන් පසු පැවති කිසිදු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්කම් දක්වා නොතිබීමද විශේෂත්වයක්.

අවසන් වරට 2018 වර්ෂයේ නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රටවල් 16ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුයේ 09වන ස්ථානයයි. මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පලමු තරගය සත්කාරක දකුණූ අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙනු ඇති. 

ශ්‍රී ලංකාව මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගීවන පළමු තරගය ලබන ඉරිදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශය කිරීමට මෙරට කිසිදු රූපවාහිනී නාලිකාවක් ඉදිරිපත් නොවීමද විශේෂත්වයක්.