Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා භීතිය මැද චීනයට නව වසරත් උදාවෙයි




චීනයේ නව අවුරුදු උදාව අදින් ආරම්භ වනවා. අද සිට පෙබරවාරි 08 වනදා තෙක් චීන වැසියන් සමරන්නේ සිය වාර්ෂික අවුරුදු උදාවයි.

එහෙත් අඛණ්ඩව ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ අලූත් අවුරුදු සැමරුම් රැසක් අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කළා.

පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ චීන වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ගමනාගමන කටයුතු සඳහා නගර 13 ක පමණ පනවා ඇති සීමා කිරීම් අලූත් අවුරුදු උදාව යෙදෙන අද දිනයේ ඇතැමුන්ට සිය නිවෙස්වලට යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර නව කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව ද 1072 ක්. පවුලේ එක් සාමාජිකයෙකුට වෛරසය ආසාධනය වුවහොත්, එම පවුලේ අනෙක් සාමාජිකයින්ට ද එය ආසාධනය විමේ ප‍්‍රවණතාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම රෝගීන් සඳහා සාත්තු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක් ද මේවනවිට වෛරසයට ගොදුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පවතින තත්ත්වය හමුවේ හුබේ සහ උහාන් ප‍්‍රාන්තවල පිහිටි සියලූ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බව ද සඳහන්. 

රෝහල්වල පවතින අර්බුදය හමුවේ උහාන් ප‍්‍රාන්තය තුළ දින 06 ක් ඇතුළත නව රෝහලක් ඉදිකිරීමට චීන බලධාරීන් සැලසුම් කර තිබෙනවා. එහි කටයුතු මේවනවිටත් ආරම්භ කර ඇති අතර බුල්ඩෝසර් සහ කැනීම් යන්ත‍්‍ර 100 ක් පමණ එම ඉදිකිරීම් කටයුතු සඳහා යොදවා ඇතැයි සඳහන්. මෙම නව රෝහල ඇඳන් 1000 කින් සමන්විත වනු ඇති.