Friday, April 26, 2024

General line - 0115112241

වෛරසයට චීනයෙන් සහනයක් : ලොවපුරා ඖෂධ සමාගම් එන්නතක් සොයා පරීක්ෂණ අරඹයි




චීනය ඇතුළු ලොව රටවල් 15කින් වාර්තා වන නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා.

ලොව ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් සරසවිය ද මේ වන විට සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වුවත් සකස් කරනු ලබන මෙම ප්‍රතිශක්තිකරන එන්නත මිනිසුන් සඳහා පරික්ෂා කිරීමට අවම වශයෙන් තවත් මාස කිහිපයක් ගතවෙනු ඇති බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. මේ දක්වා කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන එන්නතක් සකස් කර නොමැති බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිවෛරස ඉසිනයක් ෂැංහයි මහජන සෞඛ්‍ය සායනික මධ්‍යස්ථානය සොයාගෙන ඇති බව Peoples daily china පුවත්පත වාර්තා කළේ.

එම ඉසිනය උගුරට දමා භාවිතා කළ හැකි බවත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට මෙම ඉසින බෙහෙවින් ඉවහල් වන නමුත් මහජන භාවිතය සඳහා මහා පරිමාණ නිෂ්පාදනයක් දැනට නිෂ්පාදනය කර නොමැති බව වාර්තාවේ සඳහන්.