Friday, April 26, 2024

General line - 0115112241

බස්වලට ගොඩවන මගීන්ගෙන් විශේෂ ඉල්ලීමක්




කොරෝනා වෛරසයේ අවදානමත් සමග ඉල්ලූමට සරිලන පරිදි මුඛ ආවරණ සැපයීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා. ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ හදිසියේ මුඛ ආවරණ මිලදී ගැනීමට වැඩි පිරිසක් එකවර පැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

ඇතැම් ප‍්‍රදේශවල වැඩි මිලට මුඛ ආවරණ අලෙවි වන බවට ද වාර්තා පළ වනවා.

වෙළඳපොළ තුළ පවතින මෙම තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරු ක්ෂේත‍්‍ර චාරිකාවක නිරත වුණා. 

එහිදී අනාවරණය වුණේ මුඛ ආවරණ හිඟයක් ඇති බවයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ බස් රථවලට ඇතුලූ වීමේදී අනිවාර්යෙන්ම මුඛ ආවරණයක් පළඳින ලෙසටයි. දෛනිකව බස් රථවල ගමන් ගන්නා මිලියන 6 ත් 7 ත් අතර මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

මේ අතර වෙළඳපොළේ පවතින මුඛ ආවරණ හිඟය හේතුවෙන් ඒවායේ නිෂ්පාදනය වැඩි කරන ලෙස අදාළ කර්මාන්ත ශාලා දැනුවත් කිරීමට ද ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පැවසුවේ මුඛ ආවරණ ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සොයා බලමින් සිටින බවයි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මුඛ ආවරණ ආනයනය කිරීමේදී ඇති නීතිමය ගැටලූ කඩිනමින් විසඳාගෙන ජනතාවට අවශ්‍ය පරිදි මුඛ ආවරණ වෙළඳපොලට සපයන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි කියා සිටියේ. 

මේ අතර මුඛ ආවරණවල හිඟයක් පවතින බැවින් අනිසි බියක් ඇති කරගනිමින් වැඩි මිලට මුඛ ආවරණ මිලදී නොගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසනවා.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරන පුද්ගලයින් දිගින් දිගටම වාර්තා වන බැවින් ඔවුන්ට ප‍්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත අවශ්‍ය උපදෙස් ද මේ වනවිටත් ලබා දී ඇති බවයි. 

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 12 ක් දැනටමත් සූදානමින් පසු වනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැය 24 පුරා කි‍්‍රයාත්මක විශේෂ දුරකථන අංක 02 ක් ද හඳුන්වා දී තිබෙනවා. 071 - 01 07 107 සහ 011 307 107 3 එම දුරකථන අංකයි.