Friday, April 26, 2024

General line - 0115112241

රට තුල ත්‍රස්තවාදය හෝ අන්තවාදයට යලි ඉඩක් නැහැ : ජනපති




ජනතාව හමුවේ තමා කියාසිටි “සුරක්‍ෂිත රට” බිහි කිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් ක්‍රියා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.  රට තුළ ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදයක් නැවත ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ. රට හදන “ සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණේ පේරාදෙණිය, ගලහ, දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ගය සංවර්ධනයට මුල පිරීමෙන්. කිලෝමීටර් 52 ක දුරකින් යුත් එම මාර්ගය සංවර්ධනය සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 60 ක්.

මාර්ගය නවීකරණය කිරීමෙන් පසු රථ වාහන ගමනා ගමනයට මෙතෙක් වැය වූ කාලය විනාඩි 45 කින් පමණ අඩුවනු ඇති බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ. ව්‍යාපෘතිය ආරම්භ කරමින් පැවති උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටියා. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වූ පළමු මහජන හමුවද මෙය වනවා.