Friday, April 26, 2024

General line - 0115112241

අප්‍රේල් 08 වෙනිදා සිට දින 13ක් සඳහා ශ්‍රීලංකන් ගුවන් ගමන් නවතියි 




දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව දැනුම් දී සිටිනවා.

ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන් සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමාවන් සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 2020 අප්‍රේල් මස 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම් බවයි ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

එසේම අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද ගුවන් සමාගම කටයුතු කිරීමට සුදානම් බව දන්වා සිටියි.

කෙසේ වෙතත්, ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කරනු ඇත.

ගුවන් සමාගම් පාලනයෙන් ඔබ්බට ගිය මෙම තත්ත්වයන් යටතේ අපහසුතාවයට පත්ව ඇති වටිනා මගීන්ට උපරිම පහසුව සැලසීමේ අදහසින් ගුවන් ප්‍රවේශ පත්‍ර නැවත වෙන්කරවා ගැනීම සහ නැවත නිකුත් කිරීමට අදාළ ප්‍රතිපත්තියක් දැනට ක්‍රියාත්මක කර ඇති අතර එය www.srilankan.com වෙතින් ලබා ගත හැකිය.

වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ලගම ඇති ශ්‍රීලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.