Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්තයේ නිරෝධායන නීති දැඩි වෙද්දී චීනයේ පාසැල් ඇරේ




විදෙස්ගතව සිට යළි නවසීලන්තයට පැමිණෙන සියලූ පුරවැසියන් දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව නවසීලන්ත රජය ප‍්‍රකාශ කර තිබෙනවා. 

එරට අග‍්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඞ්න් පවසා ඇත්තේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. නවසීලන්තයේ සියලූ ප‍්‍රදේශ මේ වනවිටත් සති 04 ක කාලයක් සඳහා වසා දමා ඇති අතර ඒ හේතුවෙන් එරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පවසන්නේ. 

මේ අතර, නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් වසා දමා ඇති චීනයේ ෂැංහයි නගරයේ පාසල් රැසක් ලබන 27 වනදා විවෘත කිරීමට ෂැංහයි බලධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ, මේ වනවිට ෂැංහයි නගරය තුළ කොරෝනා අවදානම ක‍්‍රමයෙන් අඩු වෙමින් පැවතීම හේතුවෙන්. ඒ අනුව ප‍්‍රාථමික සහ උසස් පාසල්වල අවසන් වසරේ සිසුන් සඳහා ලබන 27 වනදා සිට යළි පාසල් විවෘත කිරීමටයි ෂැංහයි බලධාරීන් තීරණය කර ඇත්තේ. 

අනෙකුත් සිසුන් සඳහාද මැයි මස 06 වනදාට පෙර පාසල් විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරු යලි සිය පවුලේ සාමාජිකයින් සමග යළි එක්ව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ චාල්ස් කුමරු ඊයේ සිය බිරිඳ වන කැමිලා පාකර් සමග එක්ව ස්කොට්ලන්තයේදී ඔවුන්ගේ 15 වන විවාහ සංවත්සරය ද සැමරූ බවයි.

මේ අතර, මේ වනවිට ලොව පුරා වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන පහළොස් ලක්ෂ 33,542 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 89,747 ක්. 

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ 35,160 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් කොරෝනා මරණ 14,787 ක් ද වාර්තා වනවා.