Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා පාලනයට කුවේටය ඇඳිරි නීතිය මැයි 30 දක්වා දීර්ඝ කෙරේ 




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (10) සිට මේ මස 30 වෙනිදා දක්වා ඇඳිරි නිතිය පැනවීමට  තීරණය කර ඇති බව කුවේට් කැබිනට් මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඇඳිරි නීතිය පැනවීමත් සමග රාජ්‍ය අංශයේ සේවාවන් දුරස්ථව කටයුතු සිදු කරන අතර අත්‍යවශ්‍ය සේවා හැර පෞද්ගලික අංශයේ කටයුතු අත්හිටුවන බව එම නිවේදනයේ දක්වා ඇත. සියලුම බැංකු වසා දමනු ලබන අතර ඉලෙක්ට්‍රොනිකව සේවා සැපයීම දිගටම කරගෙන යනු ලැබේ.

සෞඛ්‍ය, ආරක්ෂාව, විදුලිය, තෙල් හා නාගරික සේවා වැනි අත්‍යවශ්‍ය අංශ මෙන්ම නඩත්තු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපයන පෞද්ගලික අංශයේ සමාගම් ද ඇඳිරි නීතියෙන් නිදහස් කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අනස් අල් සාලේ රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියා.

අපේ‍්‍රල් 20 වන දින කුවේටය රට පුරා ඇඳිරි නීතිය දිනකට පැය 16 දක්වා එනම් සවස 4 සිට උදේ 8 දක්වා දීර්ඝ කළ අතර රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය අංශයේ වැඩ කටයුතු අත්හිටුවීම මැයි 31 දක්වා දීර්ඝ කරනු ලැබිය. 

ඇඳිරි නීතිය අතරතුර සමුපකාර හා සිල්ලර වෙළඳසැල් විවෘතව පවතිනු ඇති බවත් සෑම පවුලකින් එක් අයෙකුට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට යෑමට අවසර දෙනු ලැබේ.

ජනතාව සිය නිවසින් බැහැරව යන විට ආරක්‍ෂිත මුඛ ආවරණ පැළඳිය යුතු අතර සවස 4:30 ත් 6:30 ත් අතර ඇවිදීමට පිටත්ව යා හැකිය. එසේ වුවත් කිසිදු වාහනයක් භාවිත කිරීමට අවසර නොදෙන බවයි කුවේට් බලධාරීන් සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 641ක් සහ මරණ තුනක් සමග කුවේටයේ මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 7,208 ක් සහ මරණ 47ක් වාර්තාවී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.