Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්තයේ අවසන් කොරොනා රෝගියාත් සුවය ලැබූ බවට එරට රජයෙන් ප්‍රකාශයක්




නවසීලන්තයේ අවසන් කොරෝනා ආසාදිතයාත් සුවය ලැබූ බව එරට රජය නිවේදනය කර තිබෙනවා. 

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඞ්න් ප‍්‍රකාශ කළේ, ඒ අනුව නවසීලන්තය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත්ව ඇති බවයි. 

අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි දේශ සීමාවන් සඳහා පැනවූ රෙගුලාසි හැර, අනෙකුත් සියලූම නිරෝධායන නීති රෙගුලාසි ඉවත් කරන බවයි අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් ප‍්‍රකාශ කර ඇත්තේ. 

නවසීලන්තයේ රාජ්‍ය සහ පෞද්ගලික වැඩ කටයුතු, කර්මාන්ත සහ පොදු ප‍්‍රවාහන සේවා සියල්ලක්ම හෙට සිට සමාජ දුරස්ථභාවයෙන් තොරව සිදු කිරීමට අවසර හිමි වනවා.

නවසීලන්තයේ කොරෝනා ව්‍යාප්තිය නැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් එරට අග‍්‍රාමාත්‍යවරිය පැවසුවේ, එය කාලයේ ඇවෑමෙන් සිදු වූවක් නොව අඛණ්ඩ උත්සාහයක ප‍්‍රථිඵලයක් බවයි. 

නවසීලන්තය තවදුරටත් ශක්තිමත් ස්ථානයක රැදී සිටිය ද, කොරෝනා ව්‍යාප්තියට පෙර පැවති සුපුරුදු ජීවන රටාවට පැමිණීම පහසු නොවන බවයි ඇය ප‍්‍රකාශ කළේ. 

නමුත්, සෞඛ්‍යමය වශයෙන් නවසීලන්තය යළි සුබවාදී මට්ටමකට පැමිණීම හේතුවෙන් ආර්ථිකය ප‍්‍රතිනිර්මාණය කිරීම කෙරෙහි සම්පූර්ණ අවධානය යෙදවීමට රජයට හැකි වන බව ද අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඞ්න් වැඩිදුරටත් සඳහන් කළා.

නවසීලන්තය තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ ද, කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම රටින් තුරන් කළ බව ප‍්‍රකාශ කිරීමට තවමත් ඉක්මණ් වැඩි බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. 

විදෙස් රටවල සිට කොරෝනා ආසාදිතයින් යළි නවසීලන්තයට නොපැමිණීම සඳහා දැඩි සුපරීක්ෂාකාරී කි‍්‍රයාමාර්ගවල නියැලීමට ද නවසීලන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා. 

නවසීලන්තයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,154 ක් වන අතර කොරෝනා මරණ 22 ක් ද එරටින් වාර්තා වුණා. 

මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 7, 091,740 ක්. ලොව පුරා කොරෝනා මරණ 406,195 ක් ද වාර්තා වනවා.