Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් උමතුවෙන් - චීනයෙන් පිළිතුරු




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට අමෙරිකාව ගෙන ඇති තීරණය, නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ලබන අසාර්ථකත්වය වෙනුවෙන් චීනයට දොස් පැවරීමේ උත්සාහයක් බව, චීන මාධ්‍ය ප‍්‍රකාශ කර තිබෙනවා.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අද දිනයේ චීනයේ ප‍්‍රධාන පුවත්පත් සියල්ලෙහිම පාහේ ප‍්‍රධාන සිරස්තල වී තිබුණේ අමෙරිකාව සමග හටගෙන ඇති මෙම උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් බවයි.

අමෙරිකාව ගෙන ඇති මෙම පියවර, ලෝක වේදිකාව මත චීනය දුෂ්ට නළුවෙකු ලෙස පින්තාරු කිරීමට ගන්නා උත්සාහයේ නව සූදුවක් ලෙසයි චයිනා ඬේලි පුවත්පත විග‍්‍රහ කර ඇත්තේ. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයේදී සිය ප‍්‍රතිවාදියාට වඩා පසුගාමීව සිටින බව මෙම පියවරෙන් පැහැදිලි වන බව ද එම පුවත්පත සඳහන් කර තිබෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පීපල්ස් ඬේලි පුවත්පත විසින් පවත්වාගෙන යනු ලබන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත පවසන්නේ, නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වොෂිංටනය උමතු කරවා ඇති බවයි. අමෙරිකාවේ නියෝගය සම්බන්ධයෙන් වොෂිංටනයේ පිහිටි චීන තානාපති කාර්යයාලය ද අද (23) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් දැක්වෙන්නේ, අමෙරිකාවේ එම වැරදි තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින බවයි. 

තිරිංග තද කර, යළි හැරී නිවැරදි දිසාවට යාමට කාලය එළඹ ඇති බව ද වොෂිංටනයේ පිහිටි චීන තානාපති කාර්යයාලය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. 

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දමන ලෙස අමෙරිකාව චීනයට නියෝග කළේ ඊයේ (22) දිනයේදීයි.

නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් චීන කොන්සල් කාර්යයාල භූමියේදී ලියකියවිලි පුළුස්සා දමන ආකාරය නිරීක්ෂණය වීමත් සමග අමෙරිකාව එම පියවර ගෙන තිබෙනවා. අමෙරිකානු බුද්ධිමය දේපළ හා අමෙරිකානුවන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණින් එම නියෝගය ලබා දුන් බවයි අමෙරිකාව පවසන්නේ.