Friday, April 26, 2024

General line - 0115112241

ජනතාව දුන් තුනෙන් දෙකක ජනවරම රටේ සංවර්ධනය සඳහා යොදා ගත යුතුයි




2020 මහමැතිවරණයේ දී ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත දැවැන්ත ජන වරම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ (Planning Service Association)) නියෝජිතයින් සමඟ අද (15) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේ දී ය. 

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජන වරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත් එම වෙනස උදාකිරීම සඳහා සැලසුම් සේවයට අති විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙලට තම සංගමයේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළා. 

සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරන බව එහි දී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සංගමය වෙත දන්වා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙම ශ්‍රම බලකාය කළමනාකරණය කිරීම සිදු කළ යුතු බවයි. විශේෂයෙන්ම මෙරට අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ්‍රම බලකාය අරමුණු කරගත යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදුන්නා. 

සංවර්ධනය යන්න යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිදුණු ජනතා සහභාගීත්වය සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතුව ඇති බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඊට අවශ්‍ය විවිධ රාජ්‍ය ආයතන විසින් එකතු කරන දත්ත විශ්ලේෂණය කොට සැලසුම් සකස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කර වර්තමාන හා අනාගත අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.