Friday, April 26, 2024

General line - 0115112241

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් රැසක්




ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක‍්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු අයදුම් කර ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ඉන් ක‍්‍රීඩකයින් 150 දෙනෙකු ක‍්‍රීඩක වෙන්දේසිය සදහා සුදුසුකම් ලබා ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. 

ඔක්තෝබර් මස පළමුවැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක‍්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර එහිදී කණ්ඩායමක් සදහා විදෙස් ක‍්‍රීඩකයින් හයක් ඇතුලූ‍ව ක‍්‍රීඩකයින් තිස්දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා කොදෙව් ක‍්‍රීඩකයින් වන ක‍්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ‍්‍රාවෝ මෙන්ම පාකිස්තානු ක‍්‍රීඩකයින් වන සහීඞ් අෆ්රිඩි ද ක‍්‍රීඩක වෙන්දේසිය සදහා තෝරාගෙන ඇති සුපිරි ක‍්‍රීඩකයින් කිහිපදෙනෙක්. 

එමෙන්ම බංග්ලාදේශ ක‍්‍රීඩක ශකීබ් අල් හසන් සහ එංගලන්ත ක‍්‍රීඩකයින් වන රවි බොපාරා සහ ජොනී බෙයාර්ස්ටෝ මෙන්ම නවසීලන්ත ක‍්‍රිඩකයින් වන ලූ‍ක් රයිට් සහ කොලින් මුන්රෝද ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන ඇති ක‍්‍රීඩකයින් අතර වනවා. 

දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් ද ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිඩක වෙන්දේසිය සදහා තෝරාගෙන තිබෙනවා. ඉන්දියාවෙන් ක‍්‍රීඩකයින් සිවුදෙනෙකු ලංකා ප‍්‍රිමියර් ලීගි ක‍්‍රිකට් තරගාවලියට එක්වීම සදහා අයදුම්කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. මුනාෆ් පටෙල්, ප‍්‍රවීන් කුමාර්, මන්ප‍්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති එලෙස ඇයදුම්කළ ඉන්දීය ක‍්‍රීඩකයින්.

දේශීය තරග පිටියේ නියැළෙන ක‍්‍රීඩකයින්ට මෙන්ම ක‍්‍රිකට් ලෝලීන්ට ද නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුලූ‍, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවලදී ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙනවා. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම සිදුවන්නේ හම්බන්තොටදීයි.