Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ - නෙත් කුටියෙන් අලුත් අත්දැකීම් රැසක්




22 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අදින් (18) ආරම්භ වනවා.

එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 08.30 ටයි. උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජාතික උරුම, ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පී ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක සහභාගී වනවා.  

ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ. 

පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන පාඨක ජනතාව ප‍්‍රදර්ශන භූමියට ඇතුළුවීමට පෙර හා පසු අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කෙරෙනු ඇති.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා මෙවර ද නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි. පොත් ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ විශේෂ කුටියක් ද ස්ථාපිත කර තිබෙනවා. 

එහිදී ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාඨක ජනතාව වෙනුවෙන් වැඩසටහන් රැසක් සූදානම් කර ඇති බවයි නෙත් එෆ්. එම්. රේඩියෝවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත දහනායක පැවසුවේ.

ඒ අතරින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම මූලික කරගෙන නෙත් පරිසර දිවුරුම වැඩසටහන දියත් කිරීම විශේෂිත බවයි සඳහන් කෙරුණේ. එය රට පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති වැඩසටහනක ආරම්භයක් බවද සඳහන් කළා. 

අඩු පහසුකම් ඇති පාසල්වල පුස්තකාල සඳහා පරිත්‍යාග ශිලීන්ගෙන් ලබා ගන්නා පොත් ප්‍රධානය කෙරෙන දිරිය නෙත් සෑම වසරකම ක්‍රියාත්මක කෙරෙන අතර මෙවරද එය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මෙවරද පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට පොතක් රැගෙන පැමිණ නෙත් ප්‍රදර්ශන කුටිය වෙත භාරදීමේ හැකියාව පවතිනවා. ඊට උනන්දුවක් දක්වන පිරිසට ප්‍රදර්ශන භූමියෙන් මිල දී ගන්නා පොතක් පවා ලබා දීමේ හැකියාව පවතිනවා.