Tuesday, October 20, 2020

General line - 0115112241

රනිල්, මංගල, අනුර සහ සුමන්තිරන් දේශපාලන පලිගැනීම් සොයන ජනපති කොමිසමට

877Views


 


හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අද දිනයේද දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා. හිටපු අග‍්‍රාමාත්‍යරවයාට අමතරව යහපාලන ආණ්ඩුව සමයේ පැවති දුෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික‍්‍රම, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ. සුමන්තිරන් ද එම කොමිසම හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ අද පෙරවරු 10 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට කළ දැනුම්දීමකට අනුවයි.

දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස එම පිරිස නම් කර තිබුණා. ඒ අනුව ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පෙරවරු 11.30ට පමණ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, එම්.ඒ. සුමන්තිරන් හා අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ද අද පෙරවරුවේ එහි පැමිණියා. ඒ, තමන් දේශපාලන පලිගැනීමට ලක්වූ බව පවසා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සදහායි.

ඉකුත් ආණ්ඩුව සමයේ නීත්‍යානුකූල ආකාරයෙන් ගෙන්වන ලද කන්ටේනර් රථයක් නීතිවිරෝධීව රේගුව තුළ රඳවා ගනිමින් නඩු පැවරීම හේතුවෙන් ඔහු මෙම පැමිණිල්ල ගොණු කර තිබෙනවා.
 
මේ අතර මෙම අවස්ථාවට පැමිණ සිටි රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර අතර සුහද කතාබහක් සිදුවන ආකාරයද දැකගත හැකි වුණා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here