Friday, April 26, 2024

General line - 0115112241

බලපෑම් නිසා සේදුපති, මුරලිගේ චිත‍්‍රපටයෙන් ඉවත් වෙයි




සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ගේ කි‍්‍රකට් දිවිය අළලා නිර්මාණය කෙරෙන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයෙන් ඉවත්වීමට දකුණු ඉන්දීය නළු විජය සේදුපති තීරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය කිරීමට එරෙහිව සේදුපති හට දකුණු ඉන්දියාව තුළින් එල්ල වන විරෝධය හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ නිරත වි සිටින පිරිස් මෙන්ම දකුණු ඉන්දීය දේශපාලනඥයින් ද එලෙස විජය සේදුපතිට විරෝධය දැක්වූ පිරිස අතර වනවා. ඔවුන් පවසන්නේ මෙම චරිතයට පන පෙවීම විජය සේදුපතිගේ රංගන දිවියට නුසුදුසු බවයි.

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයට රංගනයෙන් දායකවුවහොත් විජය සේදුපතිගේ දියණිය අපයෝජනයට ලක්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙර තර්ජනාත්මකව ප‍්‍රකාශ කිරීම ද ජාත්‍යන්තර තුළ දැඩි කථාබහට ලක්ව තිබුණා. කෙසේවෙතත් අදාළ චිත‍්‍රපටයට රංගනයෙන් දායකවීමටත් පෙර විජය සේදුපතිට එලෙස බලපෑම් එල්ල කිරීම සමාජ විරෝධී කි‍්‍රයාවක් බවයි විචාරකයින් පෙන්වා දුන්නේ. 

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයට රංගන දායකත්වය ලබාදීමට තීරණය කිරීම නිසා විජය සේදුපතිට එල්ල වන බලපෑම් හේතුවෙන් එම චිත‍්‍රපටයට දායක නොවන්නැයි මුත්තයියා මුරලිදරන් ද මීට පෙර ලිපියක් මගින් විජය සේදුපතිගෙන් ඉල්ලීමක් කර තිබුණා.