Friday, April 26, 2024

General line - 0115112241

පූජිත ජයසුන්දරට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්




හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලූ සිව් දෙනෙකුට රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ පොලිස් පරීක්ෂක ස්ටැන්ලි පෙරේරා සේවය අතහැර ගියා සේ සලකා ඔහු සේවයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමගයි.

ඒ අනුව එවක පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර හිටපු අධ්‍යක්ෂ කමල් සිල්වා, එම කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරී ඞී කේ සී සියඹලාපිටිය සහ එම කාර්යංශයේ හිටපු ස්ථානාධිපති සී ලූඩොවයික් යන අය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 25,000 බැගින් වන්දි මුදලක් සහ පෙත්සම්කරුගේ රුපියල් 50,000 නඩු ගාස්තු ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කළේ. 2017 වසරේ මාර්තු මස 17වනදා සිට කි‍්‍රයාත්මකවන පරිදි පෙත්සම්කරු හිග වැටුප්, වැටුප් වර්ධක සහ සියලූ දීමනා සහිතව යලි සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ශේ‍්‍රෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා.