Friday, April 26, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේ තීරණාත්මක සිව්වෙනි දිනය අදයි




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි. අද දිනයට තරගය ආරම්භ වන්නේ තරගයේ ජය පැරදුම දෙපිළටම දෝලනය වන පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. 

ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුළු 09 ක් දැවී ලකුණු 339 ක් රැස්කර ගෙන සිටිනවා. ඒ, ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 381 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා එංගලන්තය තවත් ලකුණු 42ක් පිටුපසින් සිටිනවා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය එංගලන්ත ඉනිමේ බිඳ වැටුනු කඩුළු 09 න් 07 ක්ම දවා ගැනීමට සමත්වුණා. 

ඉන් අවස්ථා 05 කදී උඩ පන්දු රැකගත්තේ ලහිරු තිරිමාන්නයි. ඒ අනුව ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු උඩපන්දු 05 ක් රැකගත් පළමු අවස්ථාව මෙය ලෙසටයි වාර්තා පොත් අතරට එක්වුණේ. 
එමෙන්ම පිට පිටම ඉනිම් 03 කදී එකම ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 10 කට අඩුවෙන් දවා ගැනීමේ වාර්තාව ද ලසිත් ඇඹුල්දෙණිය ඊයේ තමන් සතු කරගත් බවයි ක්‍රීඩා වාර්තාවන්හි දැක්වෙන්නේ.  ඒ, පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදී සහ දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී එංගලන්ත ආරම්භක පිතිකරුවන් දවා ගනිමින්.