Friday, April 26, 2024

General line - 0115112241

දුම්රියකට එල්ල වූ ගල් ප‍්‍රහාරයකින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු මරුට




දුම්රියේ ගමන් කරමින් සිටියදී පිටතින් එල්ල වූ ගල් පහරක් හිසේ වැදී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන කේ.එල්. පුෂ්පකුමාරයි. දෙදරු පියෙකු වන ඔහු අනුරාධපුර පුලියන්කුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉකුත් 3වෙනිදා රාජකාරී කටයුත්තක් සඳහා කොළඹට පැමිණ ඇති ඔහු එය අවසන් කර කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වූ සීඝ‍්‍රගාමී දුම්රියෙන් අනුරාධපුරය බලා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී දෙවන පන්තියේ මැදිරියක ජනේලයකින් ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට ගල් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වනවාසල සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතර ප‍්‍රදේශයකදී මෙම ගල් ප‍්‍රහාරය එල්ල වී තිබෙනවා. ඉන් තුවාල ලැබූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුම්රිය කාර්යමණ්ඩලය විසින් රාගම දුම්රිය ස්ථානයට භාර දී රෝහල්ගත කිරීමට උත්සහ දරා තිබෙනවා.

එහෙත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා. එහිදී ශල්‍යකර්ම කිහිපයක් සිදුකෙරුණ ද ඊයේ (07) රාත‍්‍රියේ ඔහු මියගිය බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවා.