Friday, April 26, 2024

General line - 0115112241

වැරදි මත ජනතාව අතරට ගෙනියනවා, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ නොතබන්න - ජනපති අවධාරණය කරයි




රටේ ස්වෛරීත්වය සුදානම් නැති බවත් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියන බවත් ඒ ගැන ජනතාව ප්‍රවේසම් විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා, එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ නොතබන්න යැයි අවධාරණය කර සිටියා.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිසම් වාර්තාව, හැම පිටුවකම කියන්නේ ඒ රජය ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. රණවිරුවන්ව අභූත චෝදනා නගලා හිර ගෙවල්වල දාලා නඩු දාලා, දැන් මට තවමත් ඒ අය ඒ නඩුවලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා. ජාත්‍යන්තරයට ගිහින් ජිනීවාවලදි යෝජනාවලට සමඅනුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සමඅනුග්‍රහයෙන්. ඒගොල්ලන් අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නෑ. අපිට මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්න පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය.

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නෑ. බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්න අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න.

මගේ මේ කාලය ඇතුළත මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවරැදි කරන්න ගිහිල්ලා. MCC ගිවිසුම ගැන, ගිය ආණ්ඩුව අමෙරිකාව සමග අත්සන් කරලා ඩොලර් මිලියන 10ක පමණ, ආරම්භත් කරලා තිබුණේ කාර්යාලයක්. නමුත් අපි ඒක අමෙරිකාව සමග සාකච්ඡා කරලා, කරුණු හොයලා බලලා අපි පැහැදිළි කරලා දුන්නා. ඒ අයත් කැමැත්තෙන් අපි මේකෙන් ඉවත් වුණා.

නැගෙනහිර පර්යන්තය.., අපි කරපු එකක් නෙමෙයි. ඉන්දියාවත් සමග අත්සන් කරපු ගිවිසුමක්. එම රටවල් සමග ගිවිසුම් අත්සන් කළාට පස්සේ ඒවයින් ගැලවෙන්න හරි අමාරුයි. විවිධ බලපෑම් එනවා.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අපිට ගේන්න වුණේ ඇයි. මේ රට පාලනය කරගන්න බැරිවෙන තරමට, කොමිසම් සභාවේ පැහැදිලිවම කියනවා රාජ්‍ය පාලනය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල නැතිකරලා දාලා තිබුණ එක හේතුවක් වුණා කියලා.

පරිසරය පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපි කරපු දේවල්, කොළඹ ලෝකයේ හරිත නගර අතරින් ඉදිරියෙන්ම සිටින නගරයක් බවට පත්කළා. පරිසරය විනාශවන කටුපොල් අපි තහනම් කළා. සමාජ මාධ්‍ය හරහා වැරදි මත ජනතාවට ගෙනියනවා. ජනතාව ප්‍රවේසම් වෙන්න ඕනේ.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජයට පත්කරලා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා .

මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ, උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ පැවැත්වෙන  “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියා.