Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ ගණන 4,000 පනී




බ්‍රසීලයේ දෛනික කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ පළමු වරට 4,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ පමණක් බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 4,211 ක්.

බ්‍රසීලයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරස ප්‍රභේදයන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන සුළු වීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බ්‍රසීලයේ රෝහල්වල මේ වනවිට දැඩි තදබදයක් පවතිනවා. එරට රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් සියයට 90 ක් කොරෝනා රෝගීන්ගෙන් පිරී පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට සෞඛ්‍ය පද්ධතිය මේ අයුරින් අර්බුදයකට ලක්වීමත් සමග වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන තුරු බලා සිටින ඇතැම් කොරෝනා රෝගීන් මිය යමින් පවතින බව ද වාර්තා වනවා.

ලොව වැඩිම නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර බ්‍රසීලය දෙවන ස්ථානයේ පසුවනවා.

නමුත්, වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවෙන් ද ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ 906 ක් පමණයි.

බ්‍රසීලයේ කොරෝනා ව්‍යාප්තිය සහ මරණ ගණන කොතරම් ඉහළ ගිය ද රට අගුලු දැමීමකට යටත් කිරීමට එරට ජනාධිපති ජයිර් බොල්සොනාරෝ දිගින් - දිගටම විරුද්ධ වීම බොහෝදෙනාගේ විවේචනයට හේතු වී තිබෙනවා.

රට අගුලු දැමීමෙන් වැළකීමට හේතුව ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි පියවරකින් රටේ ආර්ථිකයට සිදු වන හානිය වෛරසයේ බලපෑමට වඩා ඉහළ බවයි.