Friday, April 26, 2024

General line - 0115112241

යුරෝපය හා දකුණු අප්‍රිකාවත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අත්හිටුවයි




ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය ද තීරණය කර තිබෙනවා. ඒ, රටතුළ එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුවයි. අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් එම තීරණය ගනු ලැබුවේ. අමෙරිකාව තුළ මේවනවිට අදාළ එන්නත් මාත්‍රා මිලියන 6 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබෙන අතර ඉන් රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් 06 ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්ධන එන්නත භාවිත කළ පළමු රට බවට පත්වූයේ දකුණු අප්‍රිකාවයි. දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අනෙක් එන්නත්වලට සාපේක්ෂව වඩා වැඩි ආරක්ෂාවක් ලබාදෙන බවට තහවුරුවීම හමුවේයි දකුණු අප්‍රිකාව එම එන්නත භාවිතය ආරම්භ කළේ. එරට සෞඛ්‍ය සේවකයින් ලක්ෂ 03 ක පමණ පිරිසකට මේවනවිටත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාදී තිබෙනවා. 
කෙසේවෙතත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යුරෝපා රටවල එම එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි යුරෝපා සංගමය පවසන්නේ. 

එසේම පවතින තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකාවෙන් හා යුරෝපා බලධාරීන්ගේ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කළා.