Friday, April 26, 2024

General line - 0115112241

මෙරට දෛනික ආසාදිතයින් වාර්තා ගත ලෙස ඉහළට : ඊයේ දිනයේ කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි




මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ යළි වාර්තා ගත ලෙස ඉහළ ගියා. ඒ, අලුතින් ආසාදිතයින් 1939 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එය සැලකෙන්නේ දෛනික ආසාදිතයින් 1900 සීමාව අඛණ්ඩව පසුකර ගිය 03 වන දිනය ලෙසයි. එමෙන්ම දෛනික ආසාදිත ලැයිස්තුව 1500 සීමාව ඉක්මවා ගිය 07 වන අවස්ථාව ද මෙය වනවා.

ඉකුත් සඳුදා ආසාදිතයින් 1923 දෙනෙකු ද, ඉකුත් අගහරුවාදා ආසාදිතයින් 1914 දෙනෙකු ද වශයෙන් මෙරටින් දෛනික කොරොනා ආසාදිතයින් වාර්තා වී තිබුණා. මේ, වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු දැක්වූ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. 

මේ අතර කොරෝනා ආසාදිත තවත් පුද්ගල මරණ 14 ක් ගතවූ පැය 24 තුළ වාර්තා වුණා. ඒ අතරින් 08 දෙනෙකුම කාන්තාවන්. මෙලෙස මියගිය පිරිස අතර 35 හැවිරිදි සහ 42 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු ද වනවා. 

ඒ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව දැක්වුනේ 734 ක් ලෙසයි. ගතවූ පැය 24 තුළ මෙම පුද්ගල මරණ වාර්තා වී තිබුණේ හිගුරක්ගොඩ, පොළොන්නරුව, ගෝනපොල, බුලත්සිංහල, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, වත්තල, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, කුරන,දුම්මලසූරිය සහ කිරිබත්කුඹුර යන ප්‍රදේශවලින්. 

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ නුවරඑළියේ සහ ත්‍රීකුණාමලයේ ග්‍රාම නිලධාරී වසම් 02 ක් අද උදෑසන 06 සිට හුදෙකලා කළ බවයි. 

මේ අතර ඉන්දියාවේ පැවැති IPL ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කිරීම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටින ඔස්ටේ්‍රලියානු ක්‍රිඩකයින් ඇතුළු පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැඳවීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ, ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානාවලට සිය රටට ඇතුළුවීමට ඔස්ටේ්‍රලියාව ඉඩ නොදීම හේතුවෙන්. ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් බලධාරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ තාවකාලිකව නවාතැන් ගැනීමට අවස්ථාව සොයා බලමින් සිටින බවයි. 

IPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව 38 ක්. ඒ අතර සිටි පුහුණුකරුවෙකු වන ඔස්ටේ්‍රලියාවේ හිටපු ක්‍රිඩක මයික් හසීට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා.