Friday, April 26, 2024

General line - 0115112241

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි




රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

අමාත්‍යාංශය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරණය වන කරුණු හමුවේ රජය අපහසුතාවයට පත් කිරීමට තමන් තුල ඇති අකමැත්ත හේතුවෙන් මෙලෙස ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයා වෙත රාජ්‍ය අමාත්‍යවරයා විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

" වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තම වෙතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ලොහාන් රත්වත්තේ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබිය" ට්විටර් සටහනක් තබමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

සිය මිතුරන් පිරිසකට එල්ලුම්ගස පෙන්වීමට අවශ්‍ය බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉකුත් 06 වනදා වැලිකඩ බන්ධනාගාරයට අයුතු ලෙස ඇතුලුවී තිබුණු බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ. එම අවස්ථාවේ ඔහු ඇද සිට ඇත්තේ කොට කලිසමක්. 

බන්ධනාගාර නීතිය අනුව කොට කලිසමකින් සැරසී බන්ධනාගාරය තුළට ඇතුළුවීමට අවසර හිමවන්නේ නැහැ. ඒ පිළිබඳ බන්ධනාගාර නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළද එය නොතකමින් ඔහු බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති බවටද වාර්තා වුණා. එම අවස්ථාවේ බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයා නවක බන්ධනාගාර නිළධාරීන් පිරිසක් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වූ ස්ථානයට ගොස් එම නවක නිලධාරීන්ට අවවාද ලබාදී ඇති බවටයි වාර්තා පළ වුණේ.

ඔහු ඉකුත් 12 වනදා සිය මිතුරන් පිරිසක් සමඟ අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් ඇත්තේ සිය ගිනි අවියද රැගෙනයි. 

එහිදී LTTE සිරකරුවන් පිරිසක් දණ ගස්වා ඔවුන්ට තර්ජනය කර ඇති බවටද රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වුණා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනුරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී නැහැ.