Friday, April 26, 2024

General line - 0115112241

රජයේ ණය සීමාව රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය




2020 අංක 07 දරණ විසර්ජන පනත මඟින් අනුමත කර ඇති රුපියල් බිලියන 2,997 ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීම සඳහා විසර්ජන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය යටතේ රජයේ ආදායම අඩුවීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ සමාජ ආරක්ෂණ වියදම් ඉහළ යාම, සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම් අහිමිවීම හේතුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබාදීමට සිදුවීම වැනි කරුණු ඊට හේතුවී තිබෙනවා.  

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යන්ට අදාළ අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

කොවිඩ් 19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ එම අතිරේක ණය මුදල ලබා ගැනීමට නියමිත බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.