Tuesday, April 16, 2024

General line - 0115112241

ඉදිරියේදී ඇති වන වසංගත තත්ත්වයන්ට මුහුණදෙන්න අපට පුළුවන් - ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය




ශ්‍රී ලංකාව මතු නොව, මුළුමහත් ලෝකයම භීතියට පත්කළ කෝවිඩ්-19 හෙවත් කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරගැනීමට හැකිව ඇතැයි සිතා මෙරට බොහෝ පිරිස් නැවතත් සුපුරුදු පරිදි නිදහසේ සහ වගකීමකින් තොරව ජිවත් වන්නට පටන්ගැනීමත් සමඟ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවක් දැන් දැන් පෙනෙන්නට තිබේ.

පසුගිය කාලයේ දී වසංගත අවදානම නොතකා බොහෝ තැන්වල රැස්වූ ජනතාව නිදහසේ සංචරණය කිරීමටත්, වගවිභාගයකින් තොරව කටයුතු කිරීමටත් පටන්ගෙන ඇති අයුරු දැකගත හැකිවිය. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස, පසුගිය දිනවල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බවක් වාර්තා විය.

එසේම, අදාළ වෛරසය ද නව මුහුණුවරක් සහිත නව ප්‍රභේදයක් ලෙස යළි පැමිණ ඇති බවක්ද කියැවිණි. මෙවැනි පසුබිමක් තුළ, කොවිඩ්-19 රෝග තත්ත්වය නිසැක වශයෙන්ම පාලනය කළ හැකි ඉතා සාර්ථක දේශීය ඖෂධයක් ගැන යළිත් අවධානය යොමුවෙමින් තිබේ.

මෑතකදී කතාබහට ලක්වූ සෙසු දේශීය ඖෂධ මෙන් අවධානයට ලක් නොවූවද, මෙම දේශීය ඖෂධය මඟින් මේ වනවිටත් සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් පිරිසක් සුවය ලබා ඇතැයි කියැවේ. කිසිදු  මාධ්‍ය ප්‍රචාරයක් හෝ විශේෂ කතාබහක් පවා නොමැතිව නිහඬවම කොවිඩ් ආසාදිතයින් සුවපත් කරන මෙම විශ්මිත ඖෂධයට ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතියද හිමිව ඇත.

 ‘එපිරෙපීස්’ (EPIREPIES) කොරෝනා ප්‍රතිශක්තිකරණ ඖෂධය යන නමින් හඳුන්වාදෙනු ලැබ ඇති මෙම ඖෂධය නිපදවා ඇත්තේ මෙයට පෙර ඩෙංගු රෝගය සඳහා ලොවම පිළිගත් දේශීය ඖෂධයක් නිපදවූ අම්බලන්ගොඩ" ලංකාපුර වෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය ආචාර්ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසිනි. කොවිඩ්-19 පිළිබඳ නවතම තත්ත්වය හා නව ඖෂධය පිළිබඳව අප පසුගිය දිනෙක ඇය සමඟ කළ කතාබහකි මේ.

 

තරමක් දුරට හෝ පාලනය වී තිබුණු වසංගත තත්ත්වය නැවතත් නරක අතට හැරිලද?

ඔව්, එවැනි තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ කාගේ කාගේත් නොසැලකිල්ලයි. විශේෂයෙන්ම, පහුගිය අවුරුදු සමය තුළදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ බෙහෙත් ගැන අවධානය යොමු නොකිරීම වගේම නොදැනුවත්බවත් ඒ සඳහා හේතුකාරක වුණා කියලයි මට හිතෙන්නේ. දැනටත් බද්දේගම රෝහලෙන් සහ ඇල්පිටිය රෝහලෙන් ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවෙලා තියෙනවා. දැනට දැනගන්න ලැබිලා තියෙන විදිහට වැඩිපුරම ආසාදිතයින් හඳුනාගෙන තියෙන්නේ සෞඛ්‍ය අංශයෙන්. බෙහෙතක් තිබුණු පළියට රෝගියෙක් වෙන්න අවශ්‍ය නැහැ කියන එක බොහෝ අය අමතක කළ බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නේ. ඇත්තටම අපට බෙහෙතක් ගන්න ඕන වෙන්නේ ලෙඩ වුණොත් විතරයිනෙ. බෙහෙතක් තිබුණා වුණත්, ලෙඩක් හදා නොගත්තොත් ප්‍රශ්නයක් නැහැනෙ. පහුගිය දවස්වල අලුත් වෛරස් කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා කියලා අදහසකුත් පැතිරුණා. මේ වසංගත තත්ත්වයට අදාළව බ්‍රිතාන්‍යයේ තිබුණෙත් ඔය වගේම තත්ත්වයක්. මේ වෛරසය මුලින්ම හානිකරන්නෙ පෙනහළුවලටයි. කොරෝනාවලදි ‘ලන්ග් ෆයිබ්‍රෝසිස්’ (Lung Fibrosis) හෙවත් පෙනහළු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයට බෙහෙත් කරන්න ඕන කියලා මම මුල ඉඳලම කිව්වේ ඔන්න ඔය හේතුව නිසායි. මම මේ බෙහෙත හැදුවෙත් පෙනහළු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයටත් අදාළ වන විදිහටයි. පවතින තත්ත්වයන්ට අනුව වෙනස් වෙන එක වෛරසයක සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ වෛරසයක් පවතින තත්ත්වයන්ට අනුවර්තනය වෙනවා. වෛරසය පරිසරයට අනුවර්තනය වෙනවා වගේම සිරුරේ රැඳෙන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්නවා. අපි වෛරසයෙන් ගැළවෙන්න හදන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අපේ සිරුර ඇතුළෙ හදාගෙන" අපි හදන ක්‍රමය මඟහැරලා වෛරසය ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන වෛරසය මුලින්ම ආසාදනය වෙන්නෙ පෙනහළුවලටයි.

වෛරස ප්‍රභේදය වෙනස් වනවිට" ඒ අනුව ඖෂධයත් නැවත සකස් කළ යුතුද?

නැහැ, වෛරස් ප්‍රභේදය වෙනස් වුණා කියලා ඖෂධය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. වෛරසයේ බලපෑම නිසා ඇති වන රෝග තත්ත්වයන් සහ අදාළ රෝග ලක්ෂණ සියල්ල ඖෂධය සැකසීමේදී සැලකිල්ලට අරගෙන තියෙන නිසා වෛරසයේ ස්වභාවය කුමක් වුණත් මේ ඖෂධය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේක පෙනහළු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වය සහ ‘පල්මොනරි කැන්සර්’ (Pulmonary Cancer) හෙවත් පුප්ඵුසීය පිළිකා වැනි තත්ත්වයන් ඉලක්ක කරගෙන  සකස් කළ ඖෂධයක් නිසා වෛරසයේ ස්වභාවය වෙනස් වුණත් එයින් ඇති වන බලපෑම් සියල්ල පාලනය කරන්න හැකියාව මේ ඖෂධයට තියෙනවා.

නව කොරෝනා ඖෂධය දැන් වෙළෙඳපොළේ තිබෙනවාද?

ඔව්, මේ වෙනකොට ඖෂධය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. ඖෂධය ලබාගත හැකි අලෙවිසල් කිහිපයකුත් රට පුරා විවිධ ස්ථාන කිහිපයක තියෙනවා. අනුරාධපුර, මහනුවර සහ නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තියෙන ඒ අලෙවිසල්වලින් දැන් ඕනම කෙනෙකුට ඖෂධය ලබාගන්න පුළුවන්. දැනට පවතින තත්ත්වයන්ට අවශ්‍ය ආකාරයට ඖෂධය සපයන්න අපට හැකියාව තියෙනවා. ඉදිරියේදී වසංගත තත්ත්වය තව තවත් බරපතළ අතට හැරුණත්, උදා වන තත්ත්වයන්ට මුහුණුදෙන්න අපට බැරි නැහැ. කිසියම් හේතුවක් නිසා සමහර වෙලාවට ඖෂධ හිඟයක් ඇතිවුණොත්, ඒ වෙනුවට යොදාගන්න පුළුවන් ආදේශකත් අප ළඟ තියෙනවා. ඒ වගේ ආදේශකත් දැනට හොයාගෙන තියෙන නිසා කොහොම හරි ඉදිරියේදී ඇති වන වසංගත තත්ත්වයන්ට මුහුණදෙන්න අපට පුළුවන් කියලා මම හිතනවා. දැන්නම් මේ ඖෂධය කවුරු කවුරුත් අරගෙන පාවිච්චි කරනවා නම් හොඳයි කියලයි මම හිතන්නෙ. මම එහෙම කියන්නේ, මේ ඖෂධය මම නිෂ්පාදනය කරපු එකක් නිසාම නෙවෙයි. දැනට පැහැදිලිව තහවුරු වෙලා තියෙන විදිහට මේ ඖෂධයෙන් කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙන නිසයි මම එහෙම කියන්නෙ. පහුගිය කාලය පුරාම මේ ඖෂධය ගැන බොහෝ අය තුළ ලොකු විශ්වාසයක් ගොඩනැගුණා කියලා මම හිතනවා. මේ වෙනකොට ඖෂධය සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතියත් ලැබිලා තියෙනවා. කාලයක් යන තුරුම ඖෂධය ගැන ලොකු ප්‍රචාරයක් ලබාදීමට උත්සාහ නොගත්තේ අවශ්‍ය ප්‍රමාණයට සැපයුම ලබාදෙන්න හැකියාවක් නොතිබුණු නිසයි. ඒ, දැන් අපට අවශ්‍යතාවයන්ට අනුව සැපයුම වැඩි කරන්න පුළුවන්. දැනට පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන ඖෂධය වැඩිවැඩියෙන් ජනතාව අතරට ගෙනියන්න කියලා බොහෝ අය කියනවා. විශේෂයෙන්ම, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදිම මට කතා කරලා දැනට පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මණින් ඖෂධය ප්‍රචලිත කළ යුතු බව පෙන්වාදුන්නා. ඖෂධය සඳහා අනුමැතිය ලබාගැනීමට පවා මාව උනන්දු කරමින් එතුමා දක්වපු සහයෝගයට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ සියල්ලත් එක්ක, ඖෂධය වඩ වඩාත් ජනතාව අතරට ගෙන යන්න අවශ්‍ය කටයුතු දැනට සිදුකෙරෙමින් පවතිනවා. ලංකාව පුරාම ජනතාව අතරට හැකි තරම් ඖෂධය ලබාදීලා, වසංගත තත්ත්වය හැකි ඉක්මණින් පාලනය කරගැනීමට අපි උත්සාහ ගන්නවා. දැන් දැන් බොහෝ ඈත පළාත්වල අය පවා මේ ඖෂධය ගැන තොරතුරු දැනගෙන අලූත්වල ‘ලංකාපුර වෙදමැදුර’ හොයාගෙන එනවා. ඒත්, දැන් එහෙම එන්න අවශ්‍යත් නැහැ. අපි හැකි ඉක්මණින් ලංකාව පුරාම හැම කෙනෙකුටම මේ ඖෂධය ලබාගන්න පුළුවන් වන ආකාරයට බෙදාහැරීම් කටයුතු කරන්න කටයුතු යොදනවා.  

 

මෙවැනි ඖෂධයක් සකස් කරන්න පසුබිම සකස්වෙන්නේ කොහොමද?

ඇත්තටම මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය කළේ ලංකාවට නෙවෙයි. ඒ වෙනකොට කොවිඩ්-19 බරපතළ වශයෙන් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. විදෙස් රටක ඉන්න මගේ හිතවත් ජර්මන් ජාතික වෛද්‍යවරයෙක් කතා කරලා, මෙහෙම ලෙඩක් තියෙනවා කියලා මාව දැනුවත් කළා. මම ඩෙංගු රෝගයට ඖෂධයක් නිෂ්පාදනය කළ බව ඔහු දන්නවා. ඔහුත් ඒ ඖෂධය පාවිච්චි කළා. ඔහු ලංකාවෙන් යන්න දවස් දෙකකට කලින් ඔහුට ඩෙංගු රෝගය වැළඳුණා. ලංකාවෙන් පිටත්වෙන්න නියමිතව තිබුණු ගුවන්යානයට යන්න බැරිවෙයි කියලා ඔහු බය වුණා. ඊටපස්සෙ මම ඔහුට කතාකරලා, එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා ඩෙංගු රෝගය සඳහා මම හදපු ඖෂධය ඔහුට දුන්නා. ඔහුටවත් හිතාගන්න බැරි විදිහට ඒ ඖෂධයෙන් ඔහුට සුවය ලැබුණා. ඊටපස්සෙ, ''ලංකාව පුදුම රටක්” කියලා ඔහු කිව්වා. මේ රටේ ඩෙංගු වගේ වෛරස්වලට බෙහෙත් තියෙනවා කියන එක ඔහුට අදහාගන්න බැරිව ගියා. ඔහුට කිසිම සංකූලතාවයක්වත් ආවෙ නැහැ. කොවිඩ්-19 වෛරසය ගැන සියලු විස්තර සහ ඒ වෛරසයෙන් වෙන්නෙ මොකක්ද කියන එක ගැන තොරතුරු සහ වාර්තා ඔහු මට එව්වා. ඒ සියලු තොරතුරු මට එවලා, පුළුවන් නම් මේ රෝගය සඳහා ඖෂධයක් නිපදවන්න උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කළා. එයා දැනගෙන හිටියා මම පල්මොනරි කැන්සර්ස් (Pulmonary Cancer) හෙවත් පුප්ඵුසීය පිළිකා" වගේම පුප්ඵුසීය ෆයිබ්‍රෝසිස් (Pulmonary Fibrosis) සහ ලේ කැටිගැසීම් (Blood Clots) තත්ත්වයට ප්‍රතිකාර කරන බව. මේ රෝග ලක්ෂණ දෙකම කොවිඩ් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ හැටියට සැලකෙනවා. ඒ තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට පිටරටවලට යවන්න තමයි මම ඖෂධය සකස් කළේ. ලංකාවේ පළවෙනි වරට කොරෝනා වසංගත රැල්ල මතුවෙනකොටත් ඖෂධය සකස් කරලා අවසන්. ඒ වසංගත තත්ත්වය ආවට පස්සෙත් මේ ඖෂධය අපි ළඟ තිබුණා. ඒත්" වසංගතය දිගින් දිගට පැතිරෙන එකක් නැති වෙයි කියලා හිතපු නිසා මේ වගේ ඖෂධයක් ඕන වෙන එකකුත් නැති වෙයි කියලයි මම හිතුවෙ. ඒ නිසා" මම සුපුරුදු ආකාරයට මගේ අනෙකුත් සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන ගියා. ඊටපස්සෙ තමයි මේ වගේ ඖෂධයක් අවශ්‍ය වන තත්ත්වයක් උදාවුණේ. ඒ වෙද්දි මුලින්ම ඖෂධය නිෂ්පාදනය කළේ අපනයනය කරන්නයි. ඒත්" ඇතිවුණු තත්ත්වය හමුවේ ඒ අපනයන අරමුණ පැත්තකින් තියලා ලංකාවේ අයට ඖෂධය ලබාදෙන්න සිද්ධ වුණා.

එහෙත්" මෑතක් වන තුරුම මේ ඖෂධය ගැන සමාජය දැනුවත් වුණේ නැහැ?

එවැනි දැනුවත්කිරීමක් කරන්න හැකියාවක් සහ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ ඖෂධය ගැන ප්‍රචාරයක් ලබාදෙන්න මම උනන්දු වුණේත් නැහැ. මාධ්‍යවලින් මේ ඖෂධය ගැන විමසීම් කළා. ඒත්, මාධ්‍යයට වුණත් මේ ගැන කතා කරන්න මම උත්සාහ කළේ නැහැ. පහුගිය කාලය තුළ ආයුර්වේද ක්ෂේත්‍රය තුළ සිද්ධවෙමින් තිබුණු දේවල් දිහා මම පැත්තකට වෙලා නිහඬව බලාගෙන හිටියා. දේශීය වෙදකම ශෝචනීය තත්ත්වයකට පත්වෙනකොට මට කනගාටු හිතුණා. අපටම අනන්‍ය වූ අපේ හෙළ වෙදකම කාලාන්තරයක් තිස්සේ ලංකාවේ පිළිගැනීමට ලක්වෙලා තිබුණා. අපට දක්ෂ දේශීය වෛද්‍යවරුන් හිටියා. අපේ රටේ හෙළ වෙදකම ගැන බොහෝ තොරතුරු අතීතයෙන් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම, යටත්විජිත කාලයේ ලියැවුණු පොත්වලින් ලබාගත හැකි තොරතුරු ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්. ඒවා පුස්කොළ ග්‍රන්ථ වශයෙනුත් පරම්පරාවෙන් පරම්පරාවට භාරකෙරුණා. මුඛ පරම්පරාවෙන් සහ වෛද්‍යවරුන්ගේ දක්ෂකම මත පැවත ආ පාරම්පරික වෙදකමක් මේ රටේ තිබුණා. ඒක තමයි දේශීය වෙදකම කියන්නෙ. ඒ වෙදකම අදටත් දේශීය වෛද්‍යවරු අතර තියෙනවා. ඒවා ගැන දන්න නිසාම මම අර සිද්ධ වෙන දේවල් දිහා බලාගෙන පැත්තකට වෙලා හිටියා. නිවැරදි දෙයක් කරනවා නම්, ඒ ගැන මහා ලොකුවට කෑ ගහන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතුවේ. හැබැයි, දැන් වෙනකොට එහෙම දිගටම නිහඬව සිටින එකත් වැරදියි කියලා මට හිතෙනවා. ඒ නිසා, මම දැන් ඖෂධය ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා.

ඉදිරියේදී ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයුම ලබාදෙන්න ඔබට පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ලංකාවේ ජනතාවට මැරෙන්න දෙන්නෙ නැහැ. ඖෂධය ගැන දැනට බොහෝ අය දන්නෙ නැති නිසා තවමත් ඖෂධය ලොකු පිරිසක් අතරට ගිහින් නැහැ. හැබැයි, මේ ඖෂධය පාවිච්චි කළොත් සහතික වශයෙන්ම කොවිඩ් රෝගයෙන් සුවය ලබන්න පුළුවන්. මේ ඖෂධය මඟින් රෝගියාගේ ශරීරයේ ලේ මිදෙන එක නතර වෙනවා. කිරීටක ධමනි අවරෝධය, පුප්ඵුසීය ෆයිබ්‍රෝසිස් සහ අභ්‍යන්තර අවයව දුර්වලවීම වගේම පොටෑසියම් අඩුවෙන මට්ටමට එන තත්ත්වයන් පාලනය කරන්න මේ ඖෂධයට පුළුවන්. ඩෙංගු සුවපත් කළ ඖෂධයෙන් වගේම, එපිරෙපීස් නමැති මේ  ඖෂධයෙනුත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එපිරෙපීස් මඟින් කොවිඩ් රෝගය සුවවෙන බව සහතික වශයෙන්ම කිව හැකියි. හැබැයි ඩෙංගු සහ කොවිඩ් කියන රෝග දෙකට හේතු වෙන්නෙ එකිනෙකට වෙනස් වෛරස් දෙකක්. ඒ වෛරස් දෙක දෙවිදිහක්. ඩෙංගුවලදි සිද්ධ වෙන්නේ අභ්‍යන්තර රුධිර වහනයන් ^Internal Hemorrhages& වෙන  එකයි. කොවිඩ් රෝගයේදී සිද්ධ වෙන්නේ රුධිර කැටියක් ඇවිල්ලා හිරවෙන එකයි. වෛරස් දෙක දෙවිදිහක් වුණත්" ඒ දෙකෙන්ම කරන්නේ සිරුරේ අභ්‍යන්තර අවයව අඩපණ කිරීමයි. ඩෙංගු රෝගය අවසන් අවස්ථාවට යන්නේ අක්මාව අක්‍රිය වෙලා. කොවිඩ් රෝගයේදී සිද්ධ වෙන්නේ පෙනහළු දුර්වලවීම සහ මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නොලැබී යෑමයි. එවැනි තත්ත්වයන් පාලනය කරන්න හැකියාව මේ ඖෂධයට තියෙනවා.