Saturday, December 21, 2024

General line - 0115112241

රුසියාවෙන් දිවයිනට ලැබුණු MOP පොහොර ගැන අනාවරණයක්




මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් එම් ඕ පී පොහොර තොගය ප්‍රමිතියට අනුකූල බව අනාවරණ වී තිබෙනවා. 

ලෝක ආහාර වැඩසටහන යටතේ එම් ඕ පී පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කළා. 

රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කළ එම පොහොර තොගයේ වර්ණය සම්බන්ධයෙන් ගොවීන් සහ ගොවි සංවිධාන අතර විවිධ අදහස් පළ වුණා. 

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදු කළ බවයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව එම එම් ඕ පී පොහොර සංයුතියේ විශ්ලේෂණ වාර්තාව සහ පරික්‍ෂා කරන ලද අනෙකුත් ප්‍රමිතීන්ට අනුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණ වී තිබෙනවා. 

එම පොහොරවල වර්ණය තැන්පතුවේ පවතින ඛනිජ ලවණ මත තීරණය වනවා. 

යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා අතර එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගනු ලබනවා. 

මෙහිදී පොහොරවල ක්‍රියාකාරිත්වය කෙරෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර එකම පොටෑසියම් ප්‍රමාණයක් සපයන බවයි කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසුවේ. 
 

ඒ අනුව කිසිදු අනියත බියකින් තොරව ගොවීන්ට මෙම එම් ඕ පී පොහොර භාවිත කිරීමට හැකි බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.