Friday, April 26, 2024

General line - 0115112241

යුරෝපය හා බෙලරූස් රාජ්‍යය අතර අර්බුදය දිග්ගැස්සෙයි




බෙලරූස් රාජයයට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඒ, බෙලරූස් දේශසීමාවෙන් පෝලන්තය හරහා යුරෝපයට ඇතුළුවන සංක්‍රමණිකයින් හේතුවෙන් දෙපාර්ශවය අතර මේවනවිට හටගෙන ඇති අර්බුදයේ ප්‍රථිපලයක් ලෙසයි.

ඒ අනුව ආකාර 05 කින් බෙලරූස් රාජ්‍යයට එරෙහිව සම්බාධක පැනවීමටයි යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් එකගත්වයට පැමිණ ඇත්තේ. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයට ඉදිරි දින කිහිපයේදී එළඹෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පෝලන්තය හා ලිතුවේනියාව හරහා යුරෝපයට ඇතුළුවිම සඳහා සංක්‍රමණිකයින් විශාල පිරිසක් කුඩා දරුවන් ද සමගින් මේවනවිට බෙලරූස් රාජ්‍යයේ දේශසීමාව අසල රැඳී සිටිනවා. ඒ අධික ශීත කාලගුණය මධ්‍යයේයි. එම සංක්‍රමණිකයින් අතරින් බොහෝ පිරිසක් ඉරාක හා ඇෆ්ගනිස්තාන වැසියන්. 

මීට පෙර භාවිත නොකළ මාර්ග හරහා ඔවුන් බෙලරූස් රාජ්‍යයේ සිට යුරෝපයට ඇතුළුවන බවටයි මේවනවිට චෝදනා එල්ල වන්නේ. බෙලරූස් රාජ්‍යයේ මෙම ක්‍රියාකලාපය යුරෝපයේ ආරක්ෂාවට තර්ජනයක් බවටයි යුරෝපා සංගමය චෝදනා කරන්නේ. කෙසේවෙතත් සංක්‍රමණිකයින් ඇතුලුවීම වළක්වාලමින් පෝලන්තය මේවනවිට සිය දේශ සීමාවේ ආරක්ෂාව තර කර තිබෙනවා.