Friday, April 26, 2024

General line - 0115112241

දරුණු විකෘති සහිත කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන්




මෙතෙක් හමු වූ දරුණුතම විකෘතියන් පෙන්වන නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය මේ දක්වා පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති වඩාත්ම දැඩි ලෙස විකෘති වූ ප්‍රභේදය බවයි. එහි විකෘතිතා රැසක්ද ඇති බව විද්‍යාඥයින් හදුනාගෙන ඇත්තේ එය බිහිසුණු ප්‍රභේදයක් ලෙස හදුන්වාදෙමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම නවතම ප්‍රභේදය නම් කර ඇත්තේ බී.1.1.529 ලෙසයි. 

මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් දකුණු අප්‍රිකාවේ එක් ප්‍රාන්තයකින් පමණක් මේ වනවිට හදුනාගෙන ඇතත් එය මේ වනවිට ව්‍යාප්ති වී ඇත්දැයි විද්‍යාඥයින් සැක පළ කරනවා. එහි වඩාත් අවදානම් තත්ත්වය වන්නේ ඉහළ විකෘතිතා ඇති මෙම ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අභිඹවා යනු ඇති බවට විද්‍යාඥයින් සැක පළ කර තිබීමයි.

පරීක්‍ෂණ සිදුකරන දකුණු අප්‍රිකාවේ වසංගත රෝග මධ්‍යස්ථානය පවසන්නේ මෙම කොවිඩ් ප්‍රභේදය අනෙක් ප්‍රභේදයන්ට වඩා ඉතා වෙනස් අසාමාන්‍ය විකෘතියකින් යුක්ත බවයි. 

දකුණු අප්‍රිකානුවන් සියයට 24 ක් පූර්ණ එන්නත්කරණය කර ඇති පසුබිමකද එරටින් තවදුරටත් කොවිඩ් ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වනවා. නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් 77 දෙනෙකු දකුණු අප්‍රිකාවෙන්ද සිව් දෙනෙකු බොස්ට්වානා සහ එක් අයෙකු හොංකොං යන රටවලින් හදුනාගෙන තිබෙනවා.