Friday, April 26, 2024

General line - 0115112241

යුරෝපා රටවල සංචාරකයින් ගෙන්වීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්




යුරෝපා රටවල සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ යුරෝපා රටවල් කිහිපයකින් “ඔමික්‍රෝන්” නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනීමත් සමග මෙරටට පැමිණෙන සංචාරකයින් පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි. 

දැනට පවතින දත්ත පිළිබඳව ද අධ්‍යයනය කර ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

බ්‍රිතාන්‍ය , ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා යන යුරෝපා රටවලින් මේවනවිට දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු “ඔමික්‍රෝන්” නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී තිබෙනවා. 

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ද අවදානමකට ලක්ව සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ. 

මේ හේතුවෙන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව ප්‍රමාදයකින් තොරව තීරණ ගත යුතු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද සඳහන් කළා. 

ගනු ලබන තීරණ වසංගත රෝග විද්‍යා අංශය විසින් කඩිනමින් රජයට දැනුම්දීම ද සිදුකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර දකුණු අප්‍රිකානූ කලාපයේ රටවල් 06 කින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තහනම් කෙරුණා. 

එම රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තයයි. 

මේ අතර දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට ගුවන් මගින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න. 

මේ අතර ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ගුවන් මගීන් මෙරටට ඇතුළුවීම තහනම් කෙරුණු රටවල් 06 න් කිසිඳු සංචාරකයෙකු ඉකුත් දින 14 ක කාලය තුලදී මෙරටට පැමිණ නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. 

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

කෙසේවෙතත් සංචාරකයින් හැර වෙනත් පුද්ගලයින් ඉකුත් දින 14 තුලදී මෙරටට පැමිණ ඇත්දැයි අදාළ අංශ විසින් සොයා බලන බවත්, ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා. 

අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීමට බාධාවක් නොමැති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ. 

එවැනි සංචාරකයින්ට වීසා ලබාදීමේදී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂා කෙරෙන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළා.