Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ ගුවන් යානයක් 




සිම්බාබ්වේ හි රැදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීම සදහා විශේෂ ගුවන් යානයක් එරටට පිටත් කර හැරිම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සදහා ගුවන් සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ. 

අප්‍රිකානු රටවල් කිපයක සංචාරකයින්ට මෙරටට ඇතුලු වීම තහනම් කිරීමත් සමග සිම්බාබ්වේ රැදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ගෙන්වා ගැනීම අසීරු වී තිබෙනවා. 

මේ වන විට එරට රැදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට සහ නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන්ට ආසාදනය වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ සීඝ්‍රයෙන් ව්‍යාපත්ව යන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය නොවන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් සෙසු ක්‍රීඩිකාවන් දිවයිනට ගෙන්වා ගත්තද කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩිකාවන් 6 දෙනා සහ නිලධාරිනිය දිවයිනට ගෙන්වා ගැනීම ප්‍රමාද වනු ඇති. 

ඔවුන් පූර්ණ සුව ලබා නිරෝධායන කාලසීමාව අවසන් කළ පසු දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළේ. සෙසු ක්‍රීඩිකාවන් කටුනායක ගුවන් තොටුපොළවෙත ගෙන්වා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද ඔහු සදහා කළා.