Friday, April 26, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නොසගවා හෙළි කිරීම ගැන අමෙරිකාවෙන්, දකුණු අප්‍රිකාවට පැසසුම්




ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලොවට නොසගවා දැනුම්දීම සම්බන්ධයෙන්  දකුණු අප්‍රිකාවට ගෞරවය හිමිවිය යුතු බව අමෙරිකාව පවසනවා. 

ධවල මන්දිරයේ සිට අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ දකුණු අප්‍රිකාවේ විද්‍යාඥයින් ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ඉක්මනින් ලොවට දැනුම් දුන් බැවින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශංසා කළ යුතු බවයි. 

ඔවුන්ගේ අනාවරණයන් හේතුවෙන් නව තර්ජනයකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකිවූ බවත්, අමෙරිකාව මෙන්ම අනෙක් රටවල් ද සිදුකළේ එම ක්‍රියාපටිපාටිය බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය කනස්සල්ලට හේතුවක් මිස කලබලයට හෝ බියට පත්වීමට හේතුවක් නොවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. 

ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත්, මුව ආවරණ පළඳින ලෙසත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කළා. පවතින තත්ත්වය අනුව මේ මොහොතේ අමෙරිකාව තවදුරටත් සංචාරක සීමා හෝ රට අගුළු දැමීමක් සිදු නොකරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔමික්‍රෝන් ප්‍රභේදය කුමන අවස්ථාවකදී හෝ අමෙරිකාව තුළින් ද හමුවිය හැකි බවත්, එය වැළැක්විය නොහැකි බවත් ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කළා. 

කෙසේවෙතත් ලොව හොඳම එන්නත්, හොඳම ඖෂධ හා හොඳම විද්‍යාඥයින් මේවනවිටත් අමෙරිකාව සතු බැවින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව විද්‍යාත්මකව හා වේගවත්ව සටන් කරන බවයි ජෝ බයිඩ්න් අවධාරණය කළේ. ඒ අනුව අවශ්‍ය නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා නව සැලසුම් නිර්මාණය කරන ලෙස ද අමෙරිකානු ජනාධිපතිවරයා එන්නත් නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා සිටියා. 

කෙසේවෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය සොයා ගැනීමෙන් පසුව මේවනවිට රටවල් 37 ක් පමණ දකුණු අප්‍රිකාව ප්‍රමුඛ අප්‍රිකානු රටවලට සංචාරක තහනමක් පනවා තිබෙනවා. එම රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත්. නව ප්‍රභේදය හමුවේ සිය රට ප්‍රමුඛ අසල්වැසි රටවලට දොර වැසීම අසාධාරණ හා පිළිගත නොහැකි ක්‍රියාවක් බවටයි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඊයේ ජාත්‍යන්තරයට චෝදනා නැගුවේ. 

මේවනවිට ලොව රටවල් 17 කින් ඔමික්‍රෝන් ප්‍රභේදය සොයා ගෙන තිබෙනවා. එම රටවල් වන්නේ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ස්පාඤ්ඤය, බි්‍රතාන්‍ය, නෙදර්ලන්තය, පෘතුගාලය, ඉතාලිය, ප්‍රංශය, ඔස්ටේ්‍රලියාව, ඔස්ටි්‍රයාව, බෙල්ජියම, කැනඩාව, චෙක් ජනපදය, ඩෙන්මාර්කය, හොංකොං රාජ්‍යය හා ඊශ්‍රායලයයි. මේවනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 77 ක්. බොට්ස්වානා රාජ්‍යයෙන් ආසාදිතයන් 19 ක්, නෙදර්ලන්තයෙන් 13 ක්, පෘතුගාලයෙන් 13 ක් සහ බි්‍රතාන්‍යයෙන් 09 ක් ලෙස ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.