Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට පෙර "ඔමික්‍රෝන්" නෙදර්ලන්තයට ගිහින් : පැනවූ ගුවන් ගමන් තහනමෙන් ප්‍රයෝජනයක් ඇද්දැයි සැකයක්




දැඩි විකෘති භාවයෙන් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් පසුගිය සතියේදී දකුණු අප්‍රිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරු ඇඟවීමට දින පහකට පෙර එම වෛරස් ප්‍රභේදය නෙදර්ලන්තයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් අද අනාවරණය කර සිටියා.

ඉකුත් නොවැම්බර් මස 19-23 වෙනිදා යන කාල සීමාවන් වලදී වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇති බවයි නෙදර්ලන්ත සෞඛ්‍ය ආයතනය නිවේදනය කර සිටින්නේ.

කෙසේ වුවත් දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තා කරනු ලැබුවේ ඉකුත් නොවැම්බර් මස 24 වෙනිදාය.

මෙලෙස හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සංචාරය කොට පැමිණි අයවලුන් ද එසේත් නැත්නම් වෙනත් රටක සිට පැමිණි අයවලුන්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරමින් සිටින බවයි නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

කෙසේ වුවත් ලොවපුරා රටවල් රැසක් විසින් නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වීමත් සමග දකුණු අප්‍රිකාව ඇතුළු එම කලාපයේ රටවල් සඳහා ගුවන් තහනම් පැනවීමට පියවර ගනු ලැබුවත් දැනට පවතින තත්ත්වය අනුව ඔමික්‍රෝන් ප්‍රභේදයේ මුලාරම්භය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පැන නැගී ඇත. 

ඒ යම් හෙයකින් දකුණු අප්‍රිකාවට පෙර වෙනත් රටක ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වෙමින් තිබුනේ නම් එය මේ වන විටත් ලොව රටවල් රැසකට ව්‍යාප්තවී තිබීම හේතුවෙන්ය.

එයට හොඳම උදාහරණය වී ඇත්තේ ස්කොට්ලන්තය ඇතුළු යුරෝපයේ ඇතැම් රටවලින් වාර්තා වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ගෙන් ඇතැමෙකු අප්‍රිකානු රටවල හෝ වෙනත් කිසිදු රටක සංචාරය නොකර තිබීමය.

කෙසේ වුවත් මිට පෙර නෙදර්ලන්තය පැවසුවේ ඉකුත් සිකුරාදා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ගුවන් යානා දෙකක සිටි මගීන් අතුරින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු පළමු වරට වාර්තා වූ බවයි.