Friday, April 26, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය අමෙරිකාවටත් රිංගයි




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හමුවූ නවතම රට බවට අමෙරිකාව පත්ව තිබෙනවා ඒ, එම ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවෙන් ඊයේ හඳුනා ගැනීමත් සමගයි. දකුණු අප්‍රිකාවේ සිට කැලිෆෝනියා ප්‍රාන්තයට පැමිණි අයෙකු එලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පවතින තත්ත්වය අනුව අමෙරිකාව සිය ගුවන් තොටුපළවල සිදුකරන කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලිය දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කෙසේවෙතත් අමෙරිකාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ද අමෙරිකාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පසුබිමක් තුළවීම විශේෂත්වයක්. 

ලෝකයෙන් කොරෝනා වෛරසය හඳුනා ගැනීමෙන් පසුව ඉන් වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර අමෙරිකාව ද පෙරමුණේ පසුවනවා. ඊට හේතුව වන්නේ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් හා වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට අමෙරිකාව බවට පත්ව තිබීමයි.

ගතවූ පැය 24 දීද ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වූ රට වන්නේ අමෙරිකාවයි. ඒ අනුව ආසාදිතයින් එක් ලක්ෂ 12,800 ක් ඊයේ අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ ගණන 1494 ක්. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත්දා පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදයට බිය විය යුතු නොමැති බවයි. 
මේවනවිට ලොව රටවල් 24 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. ඒ අනුව මේවනවිට දකුණු අප්‍රිකාවෙන් දෛනිකව හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එරටින් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා දිනයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්. මේවනවිට ආසියානු කලාපයේ රටවල් 03 කින් ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. එම රටවල් වන්නේ හොංකොං රාජ්‍යය, ජපානය හා දකුණු කොරියාවයි.