Friday, April 26, 2024

General line - 0115112241

මහේල සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන් අද සිට යොවුන් ලෝක කුසලාන තරග බිමේ




වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි අද ආරම්භ වනවා. 

14 වැනි වරට පැවැත්වෙන මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කාණ්ඩ 4ක් යටතේ එක්වන රටවල් සංඛ්‍යාව 16ක්. 

ඒ, කාණ්ඩයෙන් බංග්ලාදේශය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ එංගලන්තය තරග වදිනවා. බී කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාවයි. සී කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, පැපුවනිව්ගිනියා සහ සිම්බාබ්වේ තරග වදිනවා. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඩී කාණ්ඩයෙන් තරග වදින අතර ඊට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය සහ ඔස්ටේ්‍රලියාවද ඇතුළත්. තරගාවලිය ආරම්භ කරමින් ඩී කාණ්ඩය යටතේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. 

පළමු තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. දෙවන තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම් අතරයි. 

එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රි 7 යි 30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණඩායමේ නායකත්වය දරන්නේ දුනිත් වෙල්ලාලගේයි. මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා යොවුන් පිලේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධනයි. 

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව  මේ දක්වා එහි ශූරතාව දිනා නැහැ. යොවුන් ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව දැක් වූ ඉහළම දක්ෂතාව වන්නේ 2000 වසරේදී අනුශූරයින් වීමයි. අවසන් වරට 2020 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව පරාජය කරමින් බංග්ලාදේශය එහි ශූරතාව දිනා ගැනීමට සමත්වුණා. රටවල් 16ක් තරග වැදුණු එම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිලට හිමි වූයේ 10 වන ස්ථානයයි.