Friday, April 26, 2024

General line - 0115112241

චීනයෙන් එන නෞකාව ගැන වරාය වෘත්තීය සමිතියක් කතා කරයි




හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර පවතින මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට හානියක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය පවසනවා. 

එහි ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න පැවසුවේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් මොහොතක සියලු රටවල් සමඟ සමගියෙන් කටයුතු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවයි. 

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට චීනය හෝ ඉන්දියාව තෝරා ගැනීමට සිදුව ඇතැයි ඔහු සදහන් කළා. 

මතභේදයට තුඩුදී ඇති අදාළ චීන නෞකාව ලබන 11 වනදා හම්බන්තොට වරායට ලගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබුණා. මතභේදයට තුඩුදී ඇති අදාළ නෞකාව චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාවක්. එය ඉකුත් 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත්ව ඇති අතර මේවනවිට තායිවානය ද පසුකර නැගෙනහිර චීන මුහුදේ යාත්‍රා කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කෙසේ වෙතත් සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය ප්‍රකාශ කර තිබුණා. හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් ඉන්දියාව අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.