Friday, April 26, 2024

General line - 0115112241

අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකාව - පාකිස්තානය පරාජය කරයි




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්තානු කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඬුලු 05 කින් ජයගැනීමට සමත් වුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු  121 ක් පමණයි.

පාකිස්තාන පිතිකරුවන් පළමු පන්දුවාර 6 දී ලකුණු 49 ක් රැස් කරමින් වේගවත් පිතිහරඹයක නිරත වුවද ශ්‍රී ලංකා දගපන්දු යවන්නන් පාකිස්තාන ඉනිම මෙල්ල කළා. එහිදී වනිඳු හසරංග ලකුණු 21 කට කඩුළු 03 ක් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මධුෂාන් අතර කඩුළු 02 බැඟින් බෙදී ගියා. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ නායක බාබර් අසාම් ලකුණු 30 යි.

ලකුණු 121 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඬුලු 05 ක් පමණක් දැවී ලකුණු 124 ක් ලබාගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කරගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 55 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්. භානුක රාජපක්ෂ පන්දු 19 කදී ලකුණු 24 ක් රැස් කළේ හයේ පහර 2 ක්ද එල්ල කරමින්. නායක දසුන් ශානක ලකුණු 21 යි. පන්දු 16 කට මුහුණ දුන් ඔහු එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් ද එල්ල කළා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.