Friday, April 26, 2024

General line - 0115112241

එංගලන්තය පාපන්දු පිටියේත් වැඩ පෙන්වයි




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ඉරානයට එරෙහි තරගයෙන් දැවැන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල 06 ට 2 ක් ලෙසයි.

තරගයේ 35 වන විනාඩියේදී එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ 19 හැවිරිදි ක්‍රීඩක ජූඩ් බෙලින්ග්හැම් විසින්. ඔහු ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ එංගලන්තය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ දෙවන ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වුණා.

ඊයේ දිනය වනවිට ඔහුගේ වයස අවුරුදු 19 යි දින 145 ක්. මීට පෙර 1998 ලෝක කුසලාන තරගාවලියේදී ගෝලයක් වාර්තාකළ මයිකල් ඔවෙන් එංගලන්තය වෙනුවෙන් එවැනි දස්කමක් සිදුකළ ලාබාලතම ක්‍රීඩකයා වනවා. ඒවනවිට ඔහුගේ වයස අවුරුදු 18 යි දින 190 ක්. 

මේ අතර 2000 වසරෙන් පසු ඉපදුනු පාපන්දු ක්‍රීඩකයෙකු ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා කළ පළමු ගෝලය ලෙස ද ජූඩ් බෙලිනිග්හැම් වාර්තා කළ ගෝලය ඉතිහාසයට එක්වුණා. තරගයේ 43 වන විනාඩියේදී සහ හැට දෙවන විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක බුකායෝ සකා ගෝල 02 ක් වාර්තා කරමින් ඉරාන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා.

ඉන් අනතුරුව 45 වන විනාඩියේදීත්, 71 වන විනාඩියේදීත්, තරගය අවසන්වීමට ආසන්නයේදීත් එංගලන්ත ක්‍රීඩකයින් තවත් ගෝල 3 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත්වුණා.

ඉරානය වෙනුවෙන් සටන අත්නොහළ මෙහෙදි තරෙමි තරගයේ 65 වන විනාඩියේදී සහ 90 වන විනාඩියේදී ගෝල 02 ක් වාර්තා කළා. 

මේ අතර සෙනගලය සමග පැවැති තරගය ගෝල 02 ට 0 ක් ලෙස ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා. අමෙරිකාව සහ වේල්සය අතර තරගය නිමාවට පත්වුණේ ගෝල 01 ට 01 ක් ලෙස විසඳුමකින් තොරවයි.