Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඇෆ්ගන් තරගාවලිය හෙට. ශ්‍රී ලංකා සංචිතය තවම නැහැ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක තේරීම් සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්ථාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් නොවීම ගැටලුවක්. 

චාමික කරුණාරත්න සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තේරීම් සදහාද බලපෑම් කර ඇති බවටයි ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඊයේ සදහන් කළේ ඇෆ්ගනිස්ථාන තරගාවලියට බොහෝදුරට චාමික ඇතුළත් නොවනු ඇති බවයි. 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ද චාමික කරුණාරත්න සම්බන්ධයෙන් අදහස් පළ කළා.  

මේ අතර තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබද ලිඛිත වාර්තාවක් කැදවන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

මෙම වාර්තා පළවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයින් පමණක් තෝරා ගන්නා බවට මේ වනවිට විවිධ මත පළ වන වටපිටාවකයි.

හෙට ආරම්භ වන ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්. සියලු තරග පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.