Monday, May 6, 2024

General line - 0115112241

අතිරික්ත මාණ්ඩලික නිලධාරීන් ස්ථාන මාරු කරන්නැයි කෘෂිකර්ම ඇමති කියයි




වියදම් කළමණාකරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දැනුම්දී තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතයි.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරින් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කෙරෙනු ඇති. 

කෘෂිකර්ම අමාත්‍යාංශය එක් කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් මෙන්ම එකම ලේකම්වරයෙක් යටතේ පාලනය වන අමාත්‍යාංශයක් වනවා. වර්තමානයේ තනි අමාත්‍යාංශයක් ලෙස පැවතියත් තවමත් මින් පෙර පැවැති ආකාරයටම අමාත්‍යාංශ සදහා පත් කළ නිලධාරින් සේවයේ යෙදී සිටින බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

ඒ අනුව මේ වනවිට එකම අමාත්‍යාංශය තුළ සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක් වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව රැඳී සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.