Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට වාර්තා ගත ක්‍රිකට් ජයක්




ඇෆ්ගනිස්ථානය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ, තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 4ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 8කට ලකුණු 313ක් රැස් කළා. එහිදී ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 162ක් රැස් කළේ ඇෆ්ගනිස්ථාන පිතිකරුවෙකු එක් දින තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමින්. 

ලකුණු 314ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසු කර ගියා. සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 101ක සබදතාවක් ගොඩ නැගුවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 67යි. පැතුම් නිස්සංක ලකුණු 35ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 33ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිලේ කඩුළු 4ක් ලකුණු 164ක් තුළ බිදවැටී තිබූ අවස්ථාවේ පිටියට එක් වූ චරිත් අසලංක සහ දසුන් ශානක පස්වන කඩුල්ලට ලකුණු 75ක් රැස් කළා. දසුන් ලකුණු 43යි.

එක් අන්තයක් රැකගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 72කදී නොදැවී ලකුණු 83ක් රැස්කළා. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පන්දු 21කදී නොදැවී ලකුණු 31ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කළා. ඔවුන් දෙදෙනා අතර 7 වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාව ලකුණු 65ක්. 

තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී තරගයේ උණුසුම පිළිබද චරිත් අසලංක පළ කළේ මෙවන් අදහසක්.

තරගය පැවති පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කිසියම් කණ්ඩායමක් හඹා ගොස් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර ශ්‍රී ලංකාව ලකුණු 296ක් හඹා ගොස් මේ වසරේ ජනවාරි මාසයේදී වාර්තාවක් බිහි කර තිබුණා. ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ වීරයා සම්මානය ඇෆ්ගනිස්ථානයේ ඊබ්‍රහීම් සඩ්‍රාන් දිනා ගත්තා. අවසන් තරගයේ වීරයා බවට පත්වුණේ චරිත් අසලංකයි.