Friday, April 26, 2024

General line - 0115112241

රටේ දරුවන්ගෙන් සියයට 43ක් පෝෂණය ගැන අර්බුදයක




රටේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 43යි දශම 4ක් පෝෂණය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවකින් පෙළෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සිදු කළ අධ්‍යයනයේ වැඩිදුර වාර්තාවක දැක්වෙන්නේ දරුවන්ගේ වර්ධනය අඩාල වීම, අඩු බර, කෘෂ බව හෝ අධික බරද ඒ අතරට අයත් බවයි.

වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන අම්පාර දිස්ත්‍රික්කයේ එම තත්ත්වය සියයට 59යි දශම 9ක්.

පෝෂණය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවකින් පෙළෙන දරුවන් සියයට 45කට වඩා වැඩියෙන් සිටින දිස්ත්‍රික්ක 10ක් වාර්තා වී තිබෙනවා.

ඉන් දිස්ත්‍රික්ක 6කම එම ප්‍රතිශතය සියයට 51කට අධිකයි. 

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යයන වාර්තාවට අනුව අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 42යි දශම 9ක් මන්දපෝෂණ ලක්ෂණ වලින් පෙලෙන බවටයි දැක්වෙන්නේ.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.

එහි ප්‍රතිශතය සියයට 59යි දශම 4ක්.

තවත් දිස්ත්‍රික්ක 5ක එම ප්‍රතිශතය සියයට 51 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මන්දපෝෂණ ලක්ෂණ වලින් පෙලෙන වැඩිම දරුවන් පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 47,982ක්. 


සමස්ත වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය සියයට 15 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එය 2021 වසරේ පැවතුණේ සියයට 12යි දශම 2ක මට්ටමකයි.

රටේ කෘෂ බවද සියයට 8යි දශම 2 සිට 10යි දශම 1ක් දක්වා වැඩි වී තිබෙනවා. 


කෙසේවෙතත් රටේ සමස්ත මන්ද පෝෂණය මීට වඩා වැඩි විය හැකි බව පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මෙම අධ්‍යනය සදහා වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 98යි දශම 8කගේ දත්ත ලබාගෙන තිබූ අතර සියයට 95යි දශම 1කගේ බර මැන තිබුණා.

පවතින සමීක්ෂණයේ දත්ත මත පදනම්ව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

 

https://drive.google.com/file/d/1dbNHZkNd4zJmP1etklGhRuGGmRCvoCzx/view