Friday, April 26, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ රජයට - හිටපු ජනපති අධිකරණයට දැනුම් දෙයි



පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලික තමන්ටම නොව රජයට බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතීඥවරු මාර්ගයෙන් සිවිල් අභියාචනා අධිකරණය හමුවේ අද දන්වා සිටියා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබු හා සදාකාලික ආබාධිතවු  පවුල්වල සාමාජිකයින් එකසිය නව දෙනකු පැවරූ නඩු සියල්ල විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනු කළ අභියාචන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මෙම කරුණු ඉදිරිපත් කළා. 

පාස්කු දින වින්දිතයින් විසින් මෙම නඩුව පවරා ඇත්තේ, මූල්‍යමය වශයෙන්  වන්දි ඉල්ලා පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලිකව ජනාධිපතිට නොව රජයට බවයි එහිදී කියාසිටියේ.

මෙම නඩුව ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති බව පෙන්වා පෙන්වාදුන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා ව්‍යවස්ථාපිත කරුණක් විභාග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි එහිදී සදහන් කළේ.  

මහාධිකරණ විනිසුරුවරුන් වන එම් බී බී එස් මොරායස් හා ඩී. එෆ් .එච් ගුණවර්ධන ඉදිරියේ එම නඩුව විභාගයට ගැනුණා. එම පෙත්සම ලබන 28 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.