Sunday, May 5, 2024

General line - 0115112241

මරණයේ වෙළෙන්දා රුසියාවට දී අමෙරිකාව සුපිරි ක්‍රීඩිකාව බේරා ගනී




අමෙරිකාව සහ රුසියාව කලකට පසු සිරකරුවන් හුවමාරුවකට යොමුවුණා. ඒ අනුව වසර 12 කාලයක් පුරා අමෙරිකානු බන්ධනාගාරයක් තුළ රඳවා සිටි රුසියානු ජාතික කුප්‍රකට අවි වෙළෙන්දෙකු වන වික්ටර් බෝට් යළිත් රුසියාවට ලබාදී රුසියාවේ සිරගත කර සිටි අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකාවක් මෙන්ම එරට සුපිරි ක්‍රීඩා තරුවක් වන වන බි්‍රට්නි ග්‍රයිනර් හුවමාරු කර ගැනීමට අමෙරිකාව කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ග්‍රිනර් ආරක්ෂිතව පැමිණෙන බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඇය හොඳ මානසික මට්ටමකින් පසුවන බවත්, සුවය ලබා යළි ක්‍රීඩාවට යොමු වීමට කාලයක් අවශ්‍යවනු ඇති බවත් ජනාධිපති ජෝ බයිඩ්න් ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. ග්‍රයිනර් රුසියානු අත්අඩංගුවට පත්වුණේ ඇය සතුව ගංජා තෙල් තිබූ බවට එල්ල වූ චෝදනා යටතේයි. අනතුරුව රුසියානු අධිකරණයක් මගින් ඇයට වසර 09 ක සිරදඬුවමක් නියම කළා. 

මෙම සිරකරු හුවමාරුවේ විශේෂත්වය වන්නේ එය යෝජනා කර ඇත්තේ ද බයිඩ්න් පාලනය විසින් වීමයි. කෙසේවෙතත් අමෙරිකාව තුළ සිරගත කර සිටි වික්ටර් බෝට් මුදා ගැනීමට රුසියාව ද කලක සිට උත්සහ දරා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මරණයේ වෙළෙන්දා ලෙස ප්‍රකට වික්ටර් බෝට් වසර 12 ක කාලයක් පුරා අමෙරිකාවේ සිරගතව සිටි බවයි.