Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව පා පන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට




පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියා සහ ආර්ජන්ටිනා කණ්ඩායම් සමත් වුණා.

සුපිරි කණ්ඩායම් 08 තරග වදින අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීලය සහ ලෝක පාපන්දු අනුශූරයින් වන ක්‍රොඒෂියාව අතරයි. මෙම තරඟයේදී සම්පූර්ණ කාලය තුළ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වුණා.

ඒ අනුව අතිරේක කාලයේදී පළමු අර්ධයේ අවසන් විනාඩියේදී බ්‍රසීල ක්‍රීඩක නේමාර් තරඟයේ පළමු ගෝලය ලබාගැනීමට සමත් වුණා.

කෙසේවෙතත් 117 වන විනාඩියේදී ක්‍රොඒෂියා කණ්ඩායම වෙනුවෙන් ද බෲනෝ පැට් කොවින් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව තරඟයේ අතිරේක කාලය නිමා වුණේද කණ්ඩායම් දෙකම එක් ගෝලයක් බැඟින් ලබා තිබියදීයි.

අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම තෝරා ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුවුණා. එහිදී ක්‍රොඒෂියාව සිය පළමු දඬුවම් පහර 04 ම ඉලක්කයට යොමුකළ අතර බ්‍රසීලයට සපුරා ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 02 ක් පමණයි.

මේ අතර නෙදර්ලන්ත සමඟ පැවති තරඟය ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසකම් ලැබීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. තරඟයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල දෙක බැඟින් වාර්තා කර තිබිම හේතුවෙන් එම තරඟයේ ජයග්‍රහණය ද තීරණය වුණේ දඬුවම් පහර මඟින් වීම විශේෂත්වයක්.

එහිදී ආර්ජන්ටිනා කණ්ඩායම දඬුවම් පහර 04 ක් සපුරාගත් අතර නෙදර්ලන්තයට සපුරාගැනීමට හැකි වුණේ දඬුවම් පහර 03 ක් පමණයි. ඒ අනුව ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.