Friday, May 10, 2024

General line - 0115112241

මරණ දඩුවම දුන්නේ දේව නියෝගයෙන්- තලේබාන් පාලකයෝ කියති




ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීනව  මරණ දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ පුලුල් ජාත්‍යන්තර විරෝධය හමුවේ ඉස්ලාමීය එමීර් රාජ්‍යය  විසින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව තලේබාන් පාලකයන් සදහන් කර ඇත්තේ වැරදිකරුවන්ට මරණ දණ්ඩනය ලබා දීම දේව නියෝගයක් බැවින් ඒ ගැන කිසිවකු කලබල විය යුතු නැති බවයි.

බටහිර ෆාරා පළාතේ සිදු වූ මෙම මරණ දණ්ඩනය ලබාදීම බොහෝ පරීක්ෂණ සහ තක්සේරු කිරීම්වලින් පසුව සිදු කළ බව ද ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ ප්‍රකාශකයෙකු වන බිලාල් කරිමි පවසා තිබෙනවා.

එබැවින් කිසිදු පාර්ශ්වයක් මේ සම්බන්ධයෙන් කිසිදු විශේෂ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය නොවන බවත්  එයට ගරු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

මිනීමැරුම් චෝදනා මත මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයකු තලේබාන් පාලකයන් විසින් ප්‍රසිද්ධියේ මරා දැමීම මානව හිමිකම් සංවිධාන සහ අනෙකුත් රටවල පුලුල් විරෝධයට හේතුවීමයි මෙම ප්‍රතිචාර දැක්වීමට හේතුවුණේ. 

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වූ අතර මෙහිදී අදාළ මරණ දඩුවම ලබාදීම සිදුකර ඇත්තේ වින්දිතයාගේ පියා විසින්.