Sunday, May 5, 2024

General line - 0115112241

මීලඟ බිලියනයට තවත් වසර 14ක් ගතවන ලකුණු 




මේ වන විට බිලියන 08ක ජනගහණයක් වාර්තා කර සිටින ලෝකයේ සමස්ත ජනගහණය බිලියන 09ක් දක්වා වැඩි වීමට තවත් වසර 14ක් ගතවනු ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම මීළඟ ජනගහණයේ බිලියනයෙන් හරි අඩක් රටවල් අටකින් පමණක් වාර්තා වනු ඇති බවත් ඉන් රටවල් පහක් අප්‍රිකානු මහද්වීපය නියෝජනය කරන රටවල් වලින් වාර්තා වනු ඇති බවයි එම වාර්තාව සඳහන් කර සිටින්නේ. එම දකුණු අප්‍රිකානු රටවල් අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව සහ ටැන්සානියාව ඇතුලත්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, සෞඛ්‍ය සේවාවේ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ආයු අපේක්ෂාව වැඩි වීම සහ මරණ අනුපාතිකය අඩු වීම හේතුවෙන් ගෝලීය ජනගහනය වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයේ නවතම දත්ත මගින් පිරිමින්ගේ ගෝලීය ආයු අපේක්ෂාව අවුරුදු 70.8 ක් සහ කාන්තාවන් අවුරුදු 75.6 ක් වන අතර 2010 දී එය පිළිවෙලින් අවුරුදු 68ක් සහ අවුරුදු 73 ක් විය.

ගෝලීය ජනගහනය 2080 ගණන් වලදී බිලියන 10.4 ක උපරිමයකට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2100 දක්වා එම මට්ටමේ පවතිනු ඇත.

ඇතැම් විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ පවතින සම්පත් වලට අනුව පෘථිවියේ ජිවත් විය හැකි උපරිම පුද්ගලයින් ප්‍රමාණය බිලියන 09-10ත් අතර සංඛ්‍යාවක් බවයි.