Sunday, April 28, 2024

General line - 0115112241

චීනයේ කෝටි 90 කට කොවිඩ් - නවතම අධ්‍යනයක් කියයි




චීනයේ පුද්ගලයින් මිලියන 900 කට ආසන්න පිරිසකට ඉකුත් බදාදා වන විට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි නවතම අධ්‍යනයකින් අනාවරණයවී තිබෙනවා. මෙම අධ්‍යනය සිදුකර ඇත්තේ දචීනයේම පිහිටි පීකිං නම් විශ්වවිද්‍යාලය විසින්. ඔවුන්ගේ වාර්තාවට අනුව චීන ජනගහනයෙන් සියයට 64 කට කොවිඩ් වෛරසය ආසාදනයවී තිබෙනවා. 

වැඩිම පිරිසක් එනම් සියයට 91 කට කොවිඩ් ආසාදනයවී ඇත්තේ ගන්ෂු ප්‍රාන්තයේ පුද්ගලයින්ටයි. යුනාන් ප්‍රාන්තයේ සියයට 84 කට, කින්හායි ප්‍රාන්තයේ සියයට 80 කට වෛරසය ආසාදනයවී ඇති බව එම වාර්තාවේ සඳහන්.

චීනයේ ප්‍රධානපෙළේ වසංගත රෝග විද්‍යාඥයෙකු අනතුරු අඟවා ඇත්තේ එරට ජනතාව සමරන “නව අවුරුදු උදාව” ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ඉහළ යාමට හේතුවනු ඇති බවයි.

ජනවාරි 21 වනදා සිට ආරම්භ වන චීනයේ අලුත් අවුරුදු නිවාඩුව සැලකෙන්නේ ලොව විශාලතම වාර්ෂික සංක්‍රමණ අවස්ථාව ලෙසයි. ආසන්න වශයෙන් බිලියන දෙකක පමණ පිරිසක් මෙම සමයේ සංචාරය කරන බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේ අතර චීනයේ කොවිඩ් උච්ඡතම අවස්ථාව තවත් මාස දෙක තුනක් පවතිනු ඇති බවයි චීන රෝග පාලක මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියාද පවසා තිබෙනවා.